hit counter

2025 මැයි මස 17 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 24, පෙ.ව. 12:04



නීති විරෝධී ලෙස බීඩි කොළ ආනයනය වැළැක්වීම සඳහා පවතින බදු ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මීට අමතරව දැනට බීඩී නිෂ්පාදනය කරන අවස්ථාවේ අයකරනු ලබන රුපියල් දෙකක බද්ද, බීඩි කොළ ආනයනය කරන අවස්ථාවේදීම අය කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බීඩි කොළ ආනයනය මත පනවා ඇති බද්ද අතාත්වික බද්දක් වන අතර එමගින් අපේක්ෂා කළ ආදායම රුපියල් බිලියන 03ක් වුව ද ලැබී ඇත්තේ රුපියල් බිලියනකටත් අඩු ආදායමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එබැවින් දැනට වෙළෙඳපොළේ පවතින බීඩි කොළවලින් 90%ක්ම නීති විරෝධී මාර්ග ඔස්සේ රටට පැමිණ ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.

අදාළ ගැසට් නිවේදනයත් සමග බදු සංශෝධනයකට ලක් වන අතර අඩු මිලකට බීඩි කොළ ආනයනයට අවසර ලැබෙන බැවින් නීති විරෝධී වෙළෙඳපොළ අභියෝගයට ලක් වනු ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.