hit counter

2025 සැප්‍තැම්‍බර් මස 20 වන සෙනසුරාදා

2023 ජූලි 14, පෙ.ව. 8:49



අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු හදිසි දැනුම් දීම් මත කඩිනම් අවශ්‍යතාවක් නොමැති සමහර කාර්යයන් සඳහා සතියේ දින දෙකක් හෝ ඊට වැඩි ගණනක් මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන රැස්වීම්වලට සහභාගි වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සාමාන්‍ය කටයුතුවලට බාධා පැමිණ ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා පවසනවා.

මේ හේතුවෙන් කාර්යාලයීය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවන බව ද ලේකම්වරයා සඳහන් කරනවා.

සියලු ම අමාත්‍යංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අසෝක මහතා යොමු කළ ලිපියක මේ බව දක්වා තිබෙනවා.

ඒ අනුව, මාර්ගගත රැස්වීම් පැවැත්වීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජකාරි කටයුතුවලට බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි මහජන දිනය හැර වෙනත් දිනයක් යොදා ගන්නා ලෙසට ලේකම්වරයා එමගින් දැනුම් දී තිබෙනවා.

අවම වශයෙන් සතියකට පෙර එම රැස්වීම් පිළිබඳව නිලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙස ද හෙතෙම උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු හදිසි දැනුම් දීම් මත මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන රැස්වීම් හේතුවෙන් රාජකාරි කටයුතු ප්‍රශස්ත අයුරින් ඉටුකිරීමේදී ගැටලුවලට මුහුණ දී ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබෙනවා.