hit counter

2025 නොවැම්‍බර් මස 07 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:10



රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරන බව ජනාධිපතිවරයා පැවසීය.

2016.01.01 දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල, දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර ඇති නමුත් එවැනි සේවකයෙකු විශ්‍රාම ගතහොත් දැනට පවතින විශ්‍රාම ක්‍රමයෙන් බැහැරව සැලකීම ප්‍රායෝගික නොවන බව ද ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය.

විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් ලිපිවලින් ඉවත් කරනු ලබමින් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනු ලබන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර, 2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙන අතර, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විශ්‍රාම වැටුප්සංශෝධන දෙවන අදියරේ දී 2020ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබන අතර, මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000ක් මුදලක් වෙන් කර තිබේ.

රජයේ සේවකයින්ට ලබා දුන් දේපල ණය යෝජනා ක්‍රමය, නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කිරීමට බලාපොරොත්තු වෙන අතර, එහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා සියයට 4 ක පොලී සහනයක් ද, රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2 පොලී සහනයක් ද ලබා දීම සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.

දැනට රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තුළ රාජ්‍ය සේවකයන් හට යම් යම් සහන ලැබුණ ද, සේවක දායකත්වයේ අවමය රුපියල් 125 ක පැවතීම හේතුවෙන් සේවකයින් වෙත ලබා දෙන ප්‍රතිලාභ, ස්ථාවරව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා රුපියල් 125ක දායක මුදල තවත් රුපියල් 75 කින් ද, රුපියල් 300 සහ රුපියල් 600ක් වන මාසික දායකත්ව මුදල් තවත් රුපියල් 150 කින් ද වැඩි කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කළේය.

රජයේ සේවකයින්ට ලබා දෙන පොලී රහිත රුපියල් 10,000ක උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000දක්වා වැඩිකිරීමට යෝජනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව ඔවුන්ට සියයට 4.2ක පොලී පදනමින් ලබාගත හැකි ආපදා ණය අත්තිකාරම් මුදල රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 400,000 දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කළ බවත් එම අත්තිකාරම් මුදල් කෙටි කාලයකින් බාධාවකින් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර, දුෂ්කරප්‍රදේශවල පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනා වසර 20කින් වැඩිකිරීමට කටයුතු කර නොමැති බැවින් එම ගුරුවරුන් අභිප්‍රේරණය කිරීම සඳහා එම දීමනාව රුපියල් 1,500කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.

අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමේ දී විදුහල්පතිවරුන්ගේ පරිපාලන වගකීම් සහ වගවීම අගය කිරීමක් වශයෙන් විදුහල්පති තනතුරෙහි සේවයේ නිරත විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන විදුහල්පති දීමනාව රුපියල් 1,500කින් වැඩි කිරීම හා අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම වැඩිකිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.