hit counter

2025 නොවැම්‍බර් මස 28 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 29, පෙ.ව. 12:12



රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවධානම් ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පොලීසිය, හමුදාව සහ නිලධාරීන් විසින් සිදු කරගෙන යන අතර ඔවුන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව තමන්ගේ හා සමීපතයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත්, ආපදාවන්ට ලක් වු ජනතාවගේ දේපොළ ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම දැනට පවතින ආපදා මට්ටම සම්බන්ධව සූම් තාක්ෂණය හරහා පැවැත්වුණු සාකච්ඡාව අමතමින් ‍අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහිදී රට පුරා පවතින අවදානම් තත්ත්වය සම්බන්ධව අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අන් සියල්ලටම වඩා ජීවිත බේරා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බවයි. මේ මොහොතේ මුළු රටම ජාතික ආපදාවකට මුහුණ දෙමින් සිටින බවත් එහිදී සියලු දෙනා ඉතාම සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍යතාවය පවතින බවත් ඊයේ දිනයේ සිට පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අවදානමට සහ ආපදාවට ලක්වී සිටින ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් පොලිසිය, ත්‍රිවිධ හමුදාව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලුම ආයතන සහ සියලු නිලධාරීන් විශාල මැදිහත්වීමක් සිදුකිරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.

මේ අතර සියලු මාධ්‍ය ආයතන මේ මොහොතේ තොරතුරු සන්නිවේදනයේ දී ඉතාමත් වගකීමෙන් කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටියාය.

දරුවන් කාන්තාවන් ඇතුළු සියලු ජනතාවගේ සනීපාරක්ෂාව සහ සුරතල් සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශව වෙතින් ඇය ඉල්ලා සිටියේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම අවදානමට ලක් වී ඇති මේ මොහොතේ සෑම දිස්ත්‍රික්කයකටම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ සියලුම පහසුකම් ලබාදීමට කටයුතු සූදානම් අර ඇති අතර හදිසි අවශ්‍යතා සඳහා බිලියන 30ක මුදලක් ද ආපදා සහ සහන සේවා කටයුතු සඳහා බිලියන 1.2 මුදලක් ද වෙන් කොට ඇති අතර අමතරව අවශ්‍ය නම් තවත් මුදල් වෙන් කිරීමේ කටයුතු සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: