hit counter

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 30, පෙ.ව. 11:35



මේ වනවිට සහල් ආනයනය නතර කර තිබෙන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ  කාරක සභාවට දැන්වුහ.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ  සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙදින කාරක සභාව හමුවේ 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ අංක 2416/11දරන සහ අංක 2415/35 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති  රෙගුලාසි දෙකක් , 2017  අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2415/56  දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති  නියෝගයක්  සහ ජාතික විගණන කාර්යාලයේ 2025 වාර්ෂික කාර්ය වැඩසටහන  සලකා බැලීම සිදුවිය.

ඒ අනුව  1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන)  පනත යටතේ  සහල් ආනයනය 2025 ජනවාරි මස 10 වැනිදා දක්වා පමණක්  දීර්ඝ  කරමින්  සහ පළමූ අදියරේ මෝටර් රථ ආනයනය සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සඳහා අනුමැතිය යන මැයෙන් පළ  කර  අති විශේෂ ගැසට් පත්‍ර දෙකෙහි සඳහන් රෙගුලාසි දෙක  සලකා  බලා අනුමත කරන ලදී. කෙසේ වෙතත්  එම ගැසට් පත්‍ර  දෙක කල් ඉකුත් වී ඇති බව  කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

ඒ අනුව කල් ඉකුත්වූ ගැසට් පත්‍ර  නොව, ඉදිරියේදී  සාකච්ජා කිරීමට පවතින කරුණු ඇතුළත් ගැසට් පත්‍ර  පමණක් කාරක සභාව හමුවේ සලකා බැලීමේ වැදගත්කම පිළිබඳව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

කෙසේ  වෙතත් සහල්  ආනයනය සම්බන්ධයෙන්  කාරක සභා සභාපතිවරයා යොමුකළ  ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්   මුදල් අමාත්‍යාංශ නිලධාරීහු  සහල් ආනයනය නතර කර ඇති බවත් වර්තමානය වන විට අස්වනු නෙලීම ආරම්භ කර ඇති හෙයින් අවශ්‍ය සහල් තොග ලබා ගත හැකි බවයි.

එමෙන්ම පසුගිය කාරක සභා රැස්වීමකදී 2024  මහ කන්නයේ සහල් අස්වනු  ප්‍රමාණය පිළිබඳ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට ඉදිරිපත් කළ දත්ත නිවැරදි නොවීම පිළිබඳවද කාරක සභා සභාපතිවරයා මෙහිදී විමසා සිටි අතර එය  සන්නිවේදනයේදී සිදු වූ අතපසුවීමක් බව කෘෂිකර්ම  අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.  

ඉදිරියේදී වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වී අලෙවි මණ්ඩලයට ලබා දීමට නියමිත රුපියල් බිලියන 5 පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී විමසා සිටි අතර එම මුදල් ඵලදායීව යෙදවීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවයද  අවධාරණය කළේය. ඒ අනුව මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය දැඩි අධීක්ෂණයක් ඔස්සේ සිදු  කිරීමටත් ඒ ඔස්සේ ඇතිවන අක්‍රමිකතා මග හරවා ගැනීමටත්  රජය දැඩි ස්ථාවරයකින් පසුව බව කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය  චතුරංග අබේසිංහ  මහතා පැවසුවේය.

අනතුරුව මෝටර් රථ ආනයනය සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන්  කාරක සභා සභාපතිවරයා අදහස් දක්වමින්,  මේ වන විට  නිකුත් කර ඇති දෙවන අදියරේ මෝටර් රථ ආනයනය සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරී සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රය සහ පෙබරවාරි මස නිකුත්වීමට පවතින තෙවැනි අදියරේ මෝටර් රථ ආනයනය සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රය එකවර සලකා බලන බව පැවසුවේය.

අනතුරුව ජාතික විගණන කාර්යාලයේ 2025 වාර්ෂික කාර්ය වැඩසටහන  රජයේ මුදල් පිළිබඳ  කාරක සභාවේ අනුමතියට ඉරිපත් කළ අතර  කාරක සභාව තුළ ඒ  පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කර  අනුමතිය ලබා දෙන ලදී.එහිදී  විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා විසින්  ජාතික  විගණන කාර්යාලය මගින් සිදුකරන කටයුතු හා ක්‍රියාවලිය පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. ආයතන 2000කට අධික ප්‍රමාණයක් විගණනයට ලක් කරන බව  පෙන්වා දුන් ඒ මහතා තම වාර්තා තුළින්  අනාවරණය කරන කරුණු  හා  ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන කරුණු වඩාත් ඵලදායී කිරීමට වැඩපිළිවෙක් අවශ්‍ය බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව ජාතික විගණන කාර්යාලයේ 2025 වාර්ෂික කාර්ය වැඩසටහන අධ්‍යයනය කරමින් එම වැඩසටහන්  තවත් දුරටත්  ඵලදායී  කිරීම සඳහා  යෝජනා  ඉදිරිපත්  කර වර්තාවක් සැකසීමට කාරක සභා සාමාජික ගරු නිමල් පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පිහිටුවීමටත් ඒ සඳහා අනෙකුත් සාමාජිකයින් ලබන රැස්වීම්  වාරයේදී නම්කිරීමටත්  කාරක සභා සභාපතිවරයා තීරණය කළේය. ඒ සම්බන්ධ වාර්තාව මාස 3ක් තුළ අවසන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර විවාදයක් ලබාගැනීමටද කරක සභාව තීරණය කරන ලදී. එමෙන්ම මෙරට පවතින සියලු වත්කම  පිළිබඳ  පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා  ඒ සම්බන්ධව කටයුතු කරන සියලුම නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවීමටද කාරක සභාව තීරණය කරන ලදී.

අනතුරුව 2017 අංක 12  දරන විදේශ විනිමය  පනත යටතේ  අංක 2415/56  දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති  නියෝගය ද කාරක සභාව හමුවේ සලකා බලා අනුමත කරන ලදී. ඒ අනුව මෙමගින් විගාමිකයෙක් විසින් ආරම්භක සම්ක්‍රමණික දීමනාව යටතේ සිදුකරන ප්‍රතිමුඛ ප්‍රේෂණ එ.ජ.ඩො 100,000 හෝ වෙනත් ඕනම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයක් දක්වා සීමා කිරීම  හා ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙක් විසින් විදේශයන්හි ආයෝජනය සිදුකිරීම් සඳහා ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් හරහා සිදු කරන ගෙවීම් හැර අනෙකුත් ගෙවීම් අත්හිටුවීම සිදුකරනු  ලැබේ. මෙය 2024 දෙසැම්බර් 19 සිට මාස 6ක කාලයකට වලංගු වේ .

මේ රැස්වීම සඳහා  ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගි වූහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: