hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 10:03



දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.

එම දත්ත සහ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෙසු ආයතන සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට කටයුතු කරන බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

එම දත්ත සහ තොරතුරු අදාළ ස්ථානවලට ගොස් වඩාත් නිවැරදිව ලබාගැනීමට කටයුතු කරන බවද, එය කඩිනම් කර ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තාකරණයටද සැලසුම් කර ඇති බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

ඒ සඳහා වන තොරතුරු පද්ධතිය MillenniumIT ESP ආයතනය නොමිලයේම සකස් කර දී ඇති බවත්, ඊට අවශ්‍ය සහාය Microsoft ආයතනයෙන් ලබාදී ඇති බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

එසේම, Rebuilding Sri Lanka වැඩසටහන වෙනුවෙන් රටවල් ගණනාවකින් මූල්‍යමය වශයෙන් සහ භාණ්ඩ වශයෙන් ආධාර රැසක් ලබා දී ඇතැයිද තවදුරටත් ආධාර ලැබෙමින් පවතින බවද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලබා දුන් තොරතුරු අනුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, මාලදිවයින, ඇමරිකා එක්සත් ජනපදය, නේපාලය, ස්විට්සර්ලන්තය, කැනඩාව, අයර්ලන්තය, කොරියාව ආදී රටවල් මෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව මෙසේ මූල්‍ය ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බවද ලේකම්වරයා සඳහන් කරයි.

එසේම ව්‍යසනය සිදු වූ වහාම ඉන්දියාව, පාකිස්ථානය වැනි රාජ්‍යයන් භාණ්ඩමය ආධාර ලබා දුන් අතර මාලදිවයින, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ කටාර් ආදී රටවල් රැසක් භාණ්ඩමය ආධාර ලබා දී ඇති බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: