hit counter

2025 ජනවාරි මස 12 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:58



දිඹුල පතන පොලිස් වසමට අයත් මේෆිල්ඩ් වතුයායේ සිට හැටන් දක්වා මගි ප්‍රවාහනය සදහා මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් අලුතින් නිකුත් කර ඇති මගි ප්‍රවාහන අවසර පත්‍රයට විරෝධය පාමින් එම වතුයායේ වතු කම්කරුවන් සහ එම වතුයායේ සිට කොටගල දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ හිමියන් අද (19) දින විරෝධය දක්වනු ලැබුවා.

කොටගල මේෆිල්ඩ් වතුයායේ සිට එම වතුයායේම පදිංචිකරුවන්ට අයත් පෞද්ගලික බස් රථ තුනක් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ මගි ප්‍රවාහන බලපත්‍රයක් ඇතිව කොටගල දක්වා ධාවනය කරන අතර , මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් එම වතුයායේ සිට හැටන් දක්වා කිසිදු පෞද්ගලික බස් රථයක් ධාවනය නොවන නිසා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් පෞද්ගලික බස් රථයකට මගි ප්‍රවාහන බලපත්‍රය නිකුත් කර ඇත.

එම අවසර පත්‍රය ඇතිව (19) දින එම වතුයායේ සිට හැටන් දක්වා බස් රථය ධාවනය කිරිමට උත්සහ කල අවස්තාවේ සෙසු පෞද්ගලික බස් රථ හිමියන් මාර්ගය අවහිර වන සේ බස් රථ ගාල් කර  එම වතුයායේ සිට හැටන් දක්වා ධාවනය කිරිමට තිබු පෞද්ගලික බස් රථයට බාධා කිරිම නිසා දෙපාර්ශවය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වුණා.

නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට පැමිණි දිඹුල පතන පොලිසියේ නිලධාරින් නොසන්සුන්කාරි  තත්ත්වය පාලනය කිරිමෙන් අනතුරුව දෙපාර්ශවයේම බස් රථ හිමියන් වෙත කියා සිටියේ පවත්නා තත්ත්වය පිලිබදව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සමග සාකච්ඡා කර නව බස් රථය ධාවනයට එක් කරන ලෙසයි.