hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2024 ජූලි 01, පෙ.ව. 12:02



තරුණයකු පැහැරගෙන යෑමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වසර තුනක සිර දඬුවමක් නියම කළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන තෙක් ඉදිරි සතිය තුළ ඇගේ නීතීඥවරුන් ඇප අයදුම්පතක් ගොනු කිරීමට නියමිතය.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරමින් සිටි තරුණයකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිරුණිකාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

ඇයට එරෙහි චෝදනා 18කට වරදකරු කෙරිණි.

වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කාල සීමාවට අමතරව චෝදනා 18ට රුපියල් 20,000 බැගින් දඩයක් ද නියම කරන ලදී.

දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමකට යටත් විය යුතුය.

පැමිණිල්ල මෙහෙය වූයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර විසිනි.

පාර්ලිමේන්තු බලතල අවභාවිත කිරීමේ වරදට විත්තිකාරියට වසර 69ක සම්පූර්ණ සිරදඬුවමක් ලැබිය හැකි බව ඔහු පැවසීය.

එම චෝදනාව සැහැල්ලු එකක් ලෙස සැළකිය නොහැකි බැවින් ජනතාවට පණිවිඩයක් ලබාදිය යුතු බවත් උපරිම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධියට සම්බන්ධ තවත් විත්තිකරුවන් අට දෙනකු වරද පිළිගැනීම නිසා ඔවුන්ට අත්හිටවූ සිරදඬුවමක් නියම විය.

නව වැනි විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරද පිළිගත්තේ නැත.

2015 දෙසැම්බර් 21 වැනිදා අමිල ප්‍රියංකර නමැති තරුණයකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන සිටියේ පවුල් ආරවුලක් විසඳීමට උත්සාහයක් වෙනුවෙන් බව වාර්තා විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පැහැරගෙන ගිය බව කියැවුණු අමිල ප්‍රියංකර නමැති තරුණයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ හිටපු මන්ත්‍රීවරිය ඇයගේ පාර්ලිමේන්තු බලතල අයුතු ලෙස භාවිත කර ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ඔහු නඩු තීන්දුවෙන් පසු අදහස් දක්වමින් කියා සිටියේ රටට නීතියක් තිබෙන බව දැන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වැටහෙනු ඇති බවයි.

“මම හරිම සතුටුයි, නමුත් උසාවියේ නඩුව වසර නවයක් තිස්සේ ඇදී ගියා. මේ කාලය තුළ මට නිදහසේ රැකියාවේ යෙදෙන්න බැරි වුණා. මට හතර වතාවක් රැකියාව වෙනස් කිරීමට සිදු වුණා. අධිකරණ තීන්දුව හරහා යම් වන්දියක් ලබා දුන්නා නම් එයින් මට යම් සහනයක් ලැබෙන්න තිබුණා. මේ ගැන ඇය අවධානය යොමු කළේ නැහැ,” යනුවෙන් ඔහු පවසා තිබේ.

සිද්ධිය හේතුවෙන් තම පුතුටද පාසල් යෑමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.

“කොහොම වුණත් රටේ නීතියක් තිබෙන බව වරදක් කිරීමට පෙර ජනතාවට මතක් කර දීමට මේ තීන්දුව හොඳ උදාහරණයක්,” යැයි ඔහු පැවසීය.

“හිරුණිකාට මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගැනීමට අවස්ථාව ලැබුණත් ඇයට බලය තිබෙන බව පවසමින් ඇය අධිකරණයේ නඩුව ඉදිරියට ගෙන ගියා. අවසානයේ ඇයට දඩුවම් ලැබුණා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

“මේ සිද්ධිය මගේ මානසික තත්ත්වයට බලපෑවා. රටේ නීතිය ක්‍රියාත්මක වන බව කවුරුත් දැනගත යුතුයි”.ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කර තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: