hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 08, පෙ.ව. 10:12



වකුගඩු රෝගීන්ට කෙරෙන අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක් වන රුධිර කාන්දුකරණය (ඩයලයිසිස්) සඳහා අවශ්‍ය ඩයලයිසර් ඇතුළු උපකරණ හිඟවීම හේතුවෙන් රට පුරා ප්‍රධාන රෝහල්වලින් එම ප්‍රතිකාරය ලබාදීම අකර්මණ්‍ය වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග හෙළි කරනවා.

මේ තත්ත්වය තුළ ප්‍රධාන රෝහල් කිහිපයක අධි ජීවිත අවදානම් සහිත රෝගීන් පමණක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාරඒකකයට යොමු කෙරෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ හේතුවෙන් රජයේ රෝහල්වලින් එම ප්‍රතිකාරය ලබා ගත් ඇතැම් රෝගීන් පෞද්ගලික අංශය වෙත නැඹුරු වී ඇති අතර මේ හේතුවෙන් පෞද්ගලික රෝහල්වලද රුධිර කාන්දුකරණය සඳහා යම් තදබදයක්ද නිර්මාණය වී ඇති බව පැවැසෙනවා. 

පෞද්ගලික අංශයෙන් එක් වරකදී රුධිර කාන්දුකරණය ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා රුපියල් එකොළොස් දහසකට වැඩි මුදලක් වැය කිරීමට වකුගඩු රෝගීන්ට සිදුව තිබෙනවා.

මේ පිළිබඳව අප කළ විමසීමකදී වෛද්‍ය සංගම් පෙන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ පවා රුධිර කාන්දුකරණය (ඩයලයිසිස්) සඳහා අවශ්‍ය ඩයලයිසර් ඇතුළු උපකරණවල තොග හිඟ වී ඇති බවයි.

පසුගිය කාලයේදී ඇතැම් මූලික රෝහල්වල රුධිර කාන්දුකරණ යන්ත්‍ර සවි කොට රුධිර කාන්දුකරණය සඳහා පහසුකම් සලසා තිබුණද මේ වන විට ඒ සඳහා අවශ්‍ය ඩයලයිසර් හිඟ වීම නිසා ඒවාද අඩාල වී ඇති බව එම සංගම් සදහන් කළා.

ඇතැම් රෝහල්වල ඇති ප්‍රතිපාදන හා පෞද්ගලික ආධාර මත රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට රුධිර කාන්දුකරණය කරන තැනට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පත්වී ඇති බවද ඔවුහු පෙන්වා දෙනවා.    

මේ අතර එම යන්ත්‍ර නඩත්තු කිරීම සඳහා සේවකයන්ගේද හිඟයක් පවතින බවද වාර්තා වේ. මේ හේතුවෙන් ඒවායේ නඩත්තු කටයුතු නිසියාකාරයෙන් සිදු නොවන බවටද චෝදනා එල්ල වෙනවා.

රුධිර කාන්දුකරණය සඳහා රෝහල්වල ස්ථාපිත කොට ඇති යන්ත්‍ර සියල්ලක්ම පාහේ සක්‍රිය තත්ත්වයේ නොපවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසුවා.

ඒවා නඩත්තු කරන කාර්ය මණ්ඩලවල හිඟයක් නැතත් එම යන්ත්‍ර නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොමැති බව ඔහු සඳහන් කළා.

එක් වසරකදී එම යන්ත්‍ර නඩත්තු කිරීමට මිලියන 4ක පමණ මුදලක් වැය වන බවද හෙතෙම පෙන්වා දුන්නා.

මෙතරම් කාලයක් එම යන්ත්‍ර නඩත්තු කටයුතු මුදල් ගෙවන පොරොන්දුවෙන් දැනහැදුනුම්කම් මත කර ගත්තද තවදුරටත් එසේ කළ නොහැකි තැනට පත්ව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළා.

ඒවා නඩත්තු කිරීමට අදාළ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සමඟ ඊයේ (07) සාකච්ඡාවක් පැවැති බවත් එයට අවශ්‍ය මුදල් අද (08) දිනයේදී නිදහස් කිරීමට ඔවුන් එකඟ වූ බවත් ඔහු සඳහන් කළා.