hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූලි 19, පෙ.ව. 2:08



මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් තිදෙනකු අසනීප වීම නිසා එම රෝහලේ නේවාසික ප්‍රතිකාර නතර කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම රෝහලේ වෛද්‍යවරුන් පස්දෙනකුගෙන් සමන්විත වුවද ඉන් එක් වෛද්‍යවරියක් ස්ථාන මාරු වීම් ලබා ගොස් ඇති අතර තවත් වෛද්‍යවරියක් සේවයෙන් ඉවත් වන බවට ලිපියක් ලබා දී තිබෙනවා.

තවත් වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් අසනීප වී ලෙඩ නිවාඩු දමා තිබෙනවා.

වෛද්‍යවරුන් සිවුදෙනකුගේ සේවය දින 9ක් පුරා දිවා රාත්‍රි නොකඩවා සිදුකළ ප්‍රධාන වෛද්‍ය රංජිත් දිසානායකද අසනීප වී 16 වනදා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ නිසා බාහිර රෝගී අංශයේ පමණක් වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන අතර නේවාසික ප්‍රතිකාර නතර කිරීමට සිදුව තිබෙනවා.

මේ පිළිබඳව කළ විමසීමකදී කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ තාවකාලිකව මෙම රෝහලේ නේවාසික ප්‍රතිකාර නතර කළ බවයි.

කෙසේ වෙතත් මෙම රෝහලේ දිනකට රෝගීන් 15ත් 25ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බාහිර රෝගී අංශයේ දිනකට රෝගීන් 150ක් පමණ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.