hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:40



අසෝක රන්වලගෙන් හිස්වූ පාර්ලිමේන්තු කතානායක ධූරයට වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට ජාජාබ ඉහළපෙළේ දේශපාලන අංශ තීරණය කර ඇති බව අද (16) වාර්තා විය.

ඒ අනුව ඔහුගේ නම අද  පක්ෂය තුළ සම්මත කරගෙන හෙට (17) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කතානායක පුරප්පාඩුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ යෝජනා කරන්නට නියමිතය.

විපක්ෂයෙන්ද කතානායක නමක් යෝජනා කරන බව සජබ නලින් බණ්ඩාර ප්‍රකාශ කර තිබුණත් එසේ කිරීම සදාචාරාත්මක නැති බවට විපක්ෂයේ ඇතැමුන් අදහස් දක්වා ඇති අතර නව කතානායක තෝරන අවස්ථාවේ ඇතිවන තත්වය තවම පැහැදිලි නැත.

තවත් නමක් යෝජනා වූවොත් රහස් ඡන්දයක් පවත්වා එම නම තේරීමට සිදුවනු ඇත.

වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය උපාධිය සැබෑ ලෙසම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ලබාගත් අයෙකි.

ඔහුගේ සේවා කාලය වසර 26 ක් වන අතර ඉන් පසුගිය 10 වසරම වෙන්ව ඇත්තේ වෛද්‍ය පරිපාලකයෙකු නැතහොත් රෝහල් අධ්‍යක්ෂ යන නිල නාමය යටතේය.

ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාජබ යටතේ මනාප ඡන්ද සංඛ්‍යාව 51391 ලබාගත් අතර එම දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනියා ලෙස තේරී පත්විය.

පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.