hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:04



ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස හය තුළ 5%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මගින් හෙළිව තිබෙනවා.

දේශීය ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම සහ දේශීය වැටුප් ඉහළ යෑම විදේශගත වන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇති බව සඳහන්.

2025 වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සමස්ත ශ්‍රී ලාංකිකයන් ගණන 143,037 ක්.

පසුගිය ආර්ථික අර්බුදය සමයේ ඉහළ මට්ටමක පැවති විදේශගත වීම, පෙබරවාරි මාසයේ සිට ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරන අතර, එය දේශීය ශ්‍රම වෙළඳපොලේ ස්ථායීකරණය වන ස්වභාවය පිළිබිඹු කරනවා.

ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවී තිබියදීත්, විදේශ ප්‍රේෂණ ලැබීම් හි කැපී පෙනෙන ඉහළ යෑමක් වාර්තා වී ඇති බව සඳහන්.

සැප්තැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ මෙතෙක් වාර්තා වූ තුන්වන ඉහළම මාසික ලැබීමයි.

එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 25.2%ක වාර්ෂික වර්ධනයක් වන අතර, අඛණ්ඩව හයවන මාසයටත් වාර්තාගත ඉහළ ප්‍රේෂණ ලැබීම් සනිටුහන් කෙරුණා.

2025 වසරේ මුල් මාස නවය තුළ සමුච්චිත ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 ඉක්මවා තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව 20%ක වර්ධනයක් වන අතර, 2020න් පසු මෙම කාලය තුළ වාර්තා වූ ශක්තිමත්ම කාර්ය සාධනයයි.

වාර්තාගත ඉහළම වාර්ෂික ප්‍රේෂණ ලැබීම් වාර්තා වූ 2016 වසරේ එම කාලයට (ඇමෙරිකානු ඩොලර් බිලියන 5.38) වඩා ද මෙම වසරේ මුල් මාස නවයේ ලැබීම් 8%කින් ඉහළ ගොස් තිබෙනවා.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම් ක්‍රමවත් ලෙස යථා තත්ත්වයට පත්වීම මෙම ප්‍රේෂණ වැඩිවීමට හේතුවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: