hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 19, පෙ.ව. 11:41



පසුගිය පාලන සමයේ ඉන්ධන ආනයනය කිරීමේදී ප්‍රිමියම් අගය අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සැකයක් පවතින බවත්, වත්මන් රජය එම අගය අවම කරමින් එම සහනය ජනතාවට ලබා දී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, අතීතයේදී ඩොලර් 2ත් 5ත් අතර පැවති ප්‍රිමියම් අගය ඉන්ධන අර්බුදය පැවති සමයේ ඩොලර් 37 දක්වා ඉහළ දැමූ බවත් පසුව එය 16ක මට්ටමේ දීර්ඝ කාලයක් පැවති බවයි.

මෙහිදී වැඩසටහන් පූර්වකයා විසින් “මේ දවස්වල ආණ්ඩුව බලයට පත්වෙනකොට කියපු දෙයක් තමයි කංචනගේ සාක්කුවට තමයි කොමිස් එක ගියේ කියලා. එතකොට දැන් ඒ කොමිස් එක කාගේ අතටද යන්නේ? කොමිස් එක අඩු කරලා සහනය දෙන්න බැරි වුණාද?” යනුවෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේ, ලෝක වෙළඳපොළේ රක්ෂණ ගාස්තු හෝ වෙනත් අර්බුදයක් නොමැතිව මෙලෙස ප්‍රිමියම් අගය ඉහළ මට්ටමක තබා ගැනීම තුළින් කොමිස් මුදල් ලබා ගත්තේ දැයි ප්‍රශ්නයක් මතුවන බවයි.

“කංචනගේ සිද්ධිය ගත්තොත් කොමිස් එක මොකක්ද කියන එක මට කියන්න බැහැ. නමුත් ඒ ප්‍රිමියම් අගය එච්චර මුදලක් ආවේ ඇයි කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් වත්මන් රජය යටතේ බොරතෙල් නැවක් සඳහා වන ප්‍රිමියම් අගය ඩොලර් 2.34 දක්වා අවම කර ඇති බවත්, එමඟින් ඉන්ධන මිල 10% කින් පමණ පහත දැමීමට මීට පෙර හැකි වූ බවත් ඔහු පෙන්වාදුන්නා.

මේ අතර පවතින මිල ගණන් අනුව රජය විසින් ඉන්ධන ලීටරයක් මත අයකරන බදු ප්‍රමාණයන් ද සභාපතිවරයා මෙහිදී අනාවරණය කළා.

ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 115 ක්, 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 143 ක් සහ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 91 ක බදු ප්‍රමාණයක් පවතින බව ඔහු පැවසුවා.

මෙම බදු මුදල් සෘජුවම රජයට ලැබෙන බවත්, ලෝක වෙළඳපොළේ මිල තවදුරටත් ඉහළ යන්නේ නම් මෙම බදු ප්‍රමාණයෙන් කොටසක් රජය විසින් දරාගෙන ජනතාවට සහනයක් සැලසීමට සාකච්ඡා කරමින් පවතින බවත් සභාපතිවරයා අවධාරණය කළා.

පසුගිය පෙබරවාරි 28 වැනිදාට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ ඩීසල් මිල 100% කින් සහ පෙට්‍රල් මිල 80% කින් පමණ ඉහළ ගොස් තිබූ බව පෙන්වා දුන් සභාපතිවරයා, පැවසුවේ, පෞද්ගලික සමාගම් ඉන්ධන ආනයනය නැවැත්වීමට සැරසෙන තරමට මිල ඉහළ ගියද, රජය විසින් ඉන්ධන මිල වැඩි කළේ 8% ක් වැනි අවම ප්‍රතිශතයකින් බවයි.

කෙසේවෙතත් රුපියල් 20ක මිල වැඩිවීම මාසිකව ලීටර් 100ක් පාවිච්චි කරන පාරිභෝගිකයෙකුට රුපියල් 2,000 ක පමණ අමතර වැයවීමක් බව ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: