hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 16, පෙ.ව. 3:52



අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජයපත්‍ර (කංසා) පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙන බව වාර්තා වනවා.

ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පවතින නීතිරීතිවලට අනුකූලව ත්‍රෛලෝක විජයපත්‍ර බෝගය වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ ලබා දීම හා නියාමන රාමුවක් සකස් කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරෙන අතර ඒවා අපනයනයට අදාළ  ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම, ආයෝජන සැලැස්ම තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කාල රාමුව සකස් කිරීම ඇතුළුව ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පැවරෙනු ඇති.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ එවැනි භූමියක් නොමැති නම් රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලය වෙත පවරා ත්‍රෛලෝක විජයපත්‍ර වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද රජය පියවර ගනු ඇති.