hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 14, ප.ව. 5:40



හික්කඩුව වනජීවි කාර්යාලය සහ බළපිටිය වනජීවි කාර්යාලයේ නිළධාරීන් ඒකාබද්ධව සිදුකරන ලද වැටලීම් දෙකකදී කාන්තාවක් සහ පුරුෂයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.

අදාල කාන්තාව බළපිටිය මහකරාව ග්‍රාම නිළධාරී වසමේ පාරුතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය විසින් මාදුගඟ අභය භූමියේ කඩොලාන කපා ඉඩම් ගොඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10,000 ක ඇපමත නිදහස් කර ඇත. 2024 . 06 . 05 දිනට නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

සැකකාර පුද්ගලයා විසින් මාදුගඟ අභයභූමියේ දැඩි ආරක්ෂිත උරගයකු වන කිඹුල් පැටියකු සන්තකයේ තබාගෙන සංචාරකයන්ට ප්‍රදර්ශනය කරමින් සිටින අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම ක්‍රියාව සිදුකරමින් සිට ඇති බවද මෙහෙයුමට සම්බන්ධ නිළධාරීයෙක් කියා සිටියේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 100,000 ඇපමත නිදහස් කර ඇත. අත්අඩංගුවට ගත් කිඹුල් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාකර සුදුසු පරිසරයකට මුදා හැරීම සදහා අත්තිඩිය පශු වෛද්‍ය කාර්යාලය වෙත භාරදෙන ලෙස නියෝග කරන ලදි. 2024, 04, 24 දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝග කර ඇත.

මෙම වැටලීම් සදහා හික්කඩුව උද්‍යාන භාර නිළධාරී අසංක ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වනසත්ව අඩවි ආරක්ෂක ඩබ්.ඒ.එස්. නිශාන්ත , වනසත්ව අඩවි සහකාර එච්.එම්. චමල් ප්‍රදීප් මහත්වරුන් සමග වනසත්ව නියාමක වින්ධ්‍යා කෝණාර මහත්මිය සහභාගි විය.