hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 18, ප.ව. 2:21



මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ අද (18) දින පොංගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමෙන් එහි කුරුන්දි විහාරයේ දායකයින් සමඟ ඇති වූ උණුසුම් තත්වය පාලනය කල බවට මුලතිව් පොලීසිය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිස විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මුලතිව් කුරුන්දි විහාර භූමියේ පොංගල් පූජාවක් පැවත්වීමට පැමිණි අවස්ථාවේදී කුරුන්දි විහාරයේ දායකයින් එය නීති විරෝධී බව පවසමින් එයට විරෝධය පෑ අතර එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරු වෙමින් උණුසුම් තත්වයක හටගන්නා ලදි.

අනතුරුව එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් අධිකරණ නියෝගය හේතුවෙන් පොන්ගල් පූජාව පැවත්වීමට අවස්ථාව ලබාදෙන නමුත් ඉදිරියේදී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා නොකරන ලෙසටද මන්ත්‍රීවරයා ඇතුලු පිරිසට දැනුම් දුන් අතර එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැන වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිර තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්වය පාලනය කොට පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර කර දීමෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් පොංගල් පූජාව පවත්වා විසිර ගිය බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

කෙසේවෙතත් අදාල අධිකරණ තීන්දුවලට එරෙහිව කුරුන්දි විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධී හිමියන් විසින් කොළඹ අභියාචනාධිකරණයේදී නඩුවක් ගොනුකිරීමට පියවර ගන්නා බවටද වැඩිදුරටත් පැවසුවා.