hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 26, ප.ව. 12:27



සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය මෙරට ගෘහ සේවිකාවකට ආහාර වෙනුවට යකඩ කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියලීමට උපයෝගී කරන යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ද ගිල්ලවා කුසේ ඇණ සමග ලංකාවට පැමිණි පුවතක් මාතලේ ඇල්කඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සෞදි රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුගේ සෘජු මැදිහත්වීම මත මෙම ගෘහසේවිකාව තානාපති කාර්යාලය හරහා මීට දින කිහිපයකට ඉහත දී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වී තිබෙනවා.

මෙසේ ආහාර වෙනුවට යකඩ ඇණ ගිල්ලවා ඇත්තේ සෞදි අරාබියේ තායිඩ් ප්‍රදේශයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි මාතලේ ප්‍රදේශයේ ඇල්කඩුව තේ වත්තක ජීවත් වූ එම්.එස් ත්‍යාගා සෙල්වි නැමැති විසි එක් හැවිරිදි එක් දරු මවක්.

තම දියණියට සිදු වූ මෙම අපරාධය පිළිබඳව ඇයගේ මව තයාගු කුමාරි මහත්මිය වත්තේගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව සඳහන් කර සිටිනවා.

පසුගිය හයවෙනි මාසයේ කොළඹ ප්‍රදේශ්යේ පෞද්ගලික විදෙස් රැකියා ආයතනයකින් ගෘහ සේවය සඳහා තමන් ගිය බවත් එහිදී ආහාර පාන ලබා නොදී දැඩි පීඩනයකට පත්ව සිටින අවස්ථාවක තමන් දුරකථනය හරහා සිය මවට ආහාර නොමැති බව පැවසීමෙන්ම හා රැකියා නියෝජිත ආයතනයට ඒ බව දැන්වීම් නිසා උරණ වූ සවුදි රටේ මෙම කාන්තාව සේවය කළ නිවසේ හිමිකාරිය සහ ඇයගේ මව එක්ව ඉතා අමානුෂික අන්දමින් තමන්ට පහර දී  කොන්ක්‍රීට් සඳහා ගසන සුදු පැහැති යකඩ කම්බි පහක් ගිල දමන ලෙස බල කරමින් පහර දුන් බව ඇය සඳහන් කළා.

තමන්ට ආහාර වෙනුවට කඩ කම්බි ගිල්ලවීම ප්‍රතික්ෂේප කිරීම්ත් සමග දැඩි ලෙස තමන්ට පහරදීම ඉවසා ගැනීමටට නොහැකිව වූ තැන යකඩ කම්බි ගිලදැමූ බව ද ඇය සඳහන් කළා.

පසුව රෙදි වියලීම සඳහා උපයෝගී කරගන්න සුදු යකඩ වලින් නිෂ්පාදිත ස්ප්‍රින් එකක් ගිල්ල වූ බවත් එම යකඩ කැබැල්ල උගුරේ සිරවූ බව ද ඇය හැඬු කඳුළින් සඳහන් කළා.

දින කිහිපයක් මේ ආකාරයෙන් පසුවෙද්දී  එකවරම තමන්ගේ උදරයෙන් මුඛයෙන් ලේ වහනය වන්නට වූ තැන  එම නිවැසියන් තමන්ව එරට රෝහල්කට රැගෙන ගිය බව සෙල්වී මහත්මිය පැවසුවා.

කෙසේවෙතත් එහි සිටි වෛද්‍යවරුන් පරික්ෂා කොට බැලීමේදී එම කාන්තාවගේ උදරයේ යකඩ ඇණ පහක් දැක ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට ඉදිරිපත් වූ බව ඇය සඳහන් කළා.

පසුව එරට පොලිසිය පැමිණ තමාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත් අවසානයේ දී පොලිසිය ප්‍රකාශවල සටහන්ව ඇත්තේ තමන් රෙදි වේලීම සඳහා යොදා ගන්නා සුදු යකඩ කම්බියක් කටේ දමා වැඩ කරමින් සිටිය දී එහි දරුවෙකු හැපීමත් සමග එය ගිලී උගුරේ සිරවී තිබෙන නිසා උගුරේ සිර වී තිබුණු සුදු යකඩ ස්ප්‍රින් එළියට ගැනීම සඳහා කම්බි ඇණ පහක් ගිල දැමූ බවට සටහන් වී ඇතැයි ඇය හැඬු කඳුළින් සඳහන් කරන්නට වූවා.

සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත් වූ එරට රෝහලේ වෛද්‍යවරයකු ඉදිරිපත් වී තම නිවැසියන්ට තමන් භාර නොදී නැවත පොලිසිය හරහා තානාපති කාර්යාලය දැනුවත් කොට ලංකාවට එවීමට  පියවර ගත් බව ඇය සඳහන් කළා.

පසුව ලංකාවට පැමිණ මහනුවර රෝහලේදී පරික්ෂා කිරීමේදී තවත් ඇණ දෙකක් තම කුස තුළ තිබෙන බව එක්ස්රේ වලින් පෙනී ගිය බවද සඳහන් කළා.

එක ඇණයක්  දින දෙකකට ඉහතදී වෛද්‍යවරුන් එළියට ගත් බවත් තවත් එක යකඩ ඇණයක් තමන්ගේ උදරයේ  පිට කොන්ද ප්‍රදේශයේ රැඳී තිබෙන බවද ඇය සඳහන් කරන්නට වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  විදේශ රැකියා ආයතනය දැනුවත් කළ ද ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවද මව  සඳහන් කරන්නට වූවා.

මේ පිළිබඳව තොරතුරු සහ වෛද්‍ය වාර්තා සමග වත්තේගම පොලීිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මව සඳහන් කළා.

සැමියාගෙන් වෙන්වී දරුවෙකු සමග තනිව ජීවත්වන තම දියණිය දරුවාගේ අනාගතය සඳහා විදේශගත වූ බව ඇද ඇය හැඬු කඳුළින් කීවා.

මෙවැනි දෙයක් කිසිදු අයකුට සිදුවන්නට ඉඩ නොතබන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කරන්නට වූවා.

වත්තේගම පොලිසියේ  නිලධාරීන් පැය හතරක පමණ කාලයක් මෙම ගෘහ සේවිකාවගේ ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවත් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීම්ට අවශ්‍ය පියවර ගන්නා බව වත්තේගම පොලිසියේ උසස්  නිලධාරියෙකු සඳහන් කළා.