hit counter

2025 නොවැම්‍බර් මස 23 වන ඉරිදා

2025 නොවැම්‍බර් 24, පෙ.ව. 12:05



නුගේගොඩ විවෘත කළ දුඹුරු සීනි වෙළඳසැල සම්බන්ධයෙන් සමාජයේ සහ විපක්ෂය තුළ ඇති වී තිබූ විවේචනවලට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිතුරු ලබා දුන්නා.

ඔහු පවසන්නේ, බොහෝ දෙනා තම වෙළඳසැල මගින් විකුණන පැකට් කළ සීනි මිල (රුපියල් 255) පිටත වෙළඳපොලේ ඇති ප්‍රමිතියෙන් තොර ලිහිල් (Loose) සීනි මිල සමඟ සංසන්දනය කිරීමෙන් මෙම ව්‍යාකූලත්වය ඇති වී ඇති බවයි.

නුගේගොඩ අලෙවිසැලේදී පැකට් කළ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 255කටඅලෙවි කරන බවත් වෙනත් සුපිරි වෙළඳසැල්හි (ෆුඩ් සිටි) එම පැකට්ටුව  රුපියල් 280 සිට රුපියල් 380 දක්වා අලෙවි වන බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

අපේ ගානට වඩා ගාන වෙන තැන්වල අඩුයි කියන්නේ, ලිහිල් විකුණන එක (loose) ගෙනල්ලා තමයි මෙගොල්ලෝ මේ පෙන්නන්නේ. ලිහිල් එකක් කියන්නේ, හරියට හෝදලා නෑ, හරියට පිරිසිදු කරලා නෑ.”

ප්‍රමිතිය නොසලකා ලිහිල් සීනි විකිණීමට තමන්ට අවශ්‍ය නම් රුපියල් 230ටත් අඩුවෙන් විකිණිය හැකි බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ නමුත් එලෙස විකිණිමේහි ප්‍රමිතියක් නොමැති බවයි.

පැකට් එකේයි ලිහිල් විකුණන එකෙයි වෙනස තෝරගන්න බැරි එකේ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නෙ. එහෙම නැතුව අපේ මිල වැඩි නැහැ.”

මෙම විවේචන මධ්‍යයේ වුවද, තම අලෙවිසැලේ සාර්ථකත්වය පිළිබඳව අමාත්‍යවරයා සතුට පළ කළා.

ඒ අනුව  දින 9ක් තුළ සීනි කිලෝග්‍රෑම් 3,000කට අධික ප්‍රමාණයක් (දිනකට සාමාන්‍ය කිලෝ 339ක්) විකුණා ඇති බවත් එමගින් මේ වන විට රුපියල් ලක්ෂ 8ක ආදායමක් උපයා ඇති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

තම අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ දුඹුරු සීනි පමණක් නොව උක් ආශ්‍රිත සියලුම දේවල් නිෂ්පාදනය කර ලබා දීමට බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, මෙම ව්‍යාපෘතියට සීනි ආනයනය කරන පාර්ශ්වයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි තමන් දන්නා බවයි.

රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අනුව පසුගිය වසරේ ඩොලර් බිලියන 100කට අධික මුදලක් වියදම් කර ඇති බව පැවසුවද, ඔවුන්ගේ ආණ්ඩුව යටතේ 2023 වසරේ පමණක් සීනි ගෙන්වීමට ඩොලර් 334ක් තිබියදී ඩොලර් මිලියන 408ක් සහ 2022 දී ඩොලර් මිලියන 219ක් වියදම් කර ඇති බව සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා අවධාරණය කළා.

කෙසේවෙතත් මෙම දුඹුරු සීනි වෙළඳසැල සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු හොඳයි ලෙස පවසන අතර තවත් පස් දෙනෙකු විරුද්ධව කතා කරන බවත්, එයින් තමන්ට කිසිවක් නොතේරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: