hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 14, පෙ.ව. 8:52



දැනට නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවැරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය 09 වැනිදා නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කරගෙන ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (13) දැනුම් දුන්නා.

සමගි ජන බලවේගය විසින්  මෙම අනීතික ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරියේ  රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව එම ලිපිය රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් ඉවත් කරගනු ලැබ තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබුණා.

ඊයේ අභියාචනාධිකරණයේදී රිට් පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේ  නීතිපතිවරයා විෂයගත ලිපිය රාජ්‍ය පරිපාලන ලේකම් කේ.ඩී.එස්. රංජිත් මහතා විසින් ඉවත් කරගෙන ඇති බවත් ඒ වෙනුවට වෙනත් ලිපියක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් අධිකරණය හමුවේ පවසා සිටියේ අදාළ ලිපිය ඉවත් කරගෙන තිබෙන්නේ මෙම පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව බැවින්  පෙත්සම විභාගයට නියම කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම මේ මස 26 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළා.

අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර මෙම පෙත්සම ඉදිරිපත් කරමින් යම්කිසි පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන්වීමෙන් අනතුරුව ඒවායේ බලය කොමසාරිස්වරයකු හෝ එම පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා යටතට පැවැරීම සාමාන්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය වුවත් මෙම ලිපිය මඟින් පරිපාලන ආයතනවල බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට පැවැරීමෙන් එම නෛතික ප්‍රතිපාදනය උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

පළාත් පාලන ආයතන පනතේ විධි විධානයන්ට අනුව එම ආයතනවල බලය මෙවැනි කමිටුවකට පැවැරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් මැයි 09දා නිකුත් කළ නීති විරෝධී ලිපිය බල රහිත කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියා.