hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 15, පෙ.ව. 1:01



මත්පැන් දන්සලක් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී එක් සැකකරුවෙකු රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි අධිකරණය නියෝග කළේ.

කටුනායක පදිංචි වයස 20ත් 25ත් අතර පසුවන තරුණයන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවේ සිට ඇප මත මුදා හැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එහිදී ඔවුන් පවසා ඇත්තේ, තමන්ගේ ඥාතියෙකු විසින් රැගෙන පැමිණි විදෙස් මත්පැන් බෝතල්වලට තේ වතුර දමා ටික්ටොක් ඔස්සේ ප්‍රචාරය කිරීමට වීඩියෝවක් සැකසීම සඳහා අදාළ ක්‍රියාව සිදුකළ බවයි.

කෙසේ වෙතත් දුම්කොළ සහ මධ්‍යසාර පනත යටතේ මත්පැන් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සැකකරුන් 06 දෙනාව අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් ඔවුන්ව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.