hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 23, පෙ.ව. 12:05



කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.

පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සමගින් මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

මෙම පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට ඉදිරියේ දී මහජන බැංකුව සමඟද ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

කෘෂි නවීකරණ වැඩසටහනෙහි පළමු අදියරයේ දී නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක කෘෂි නවීකරණ කේන්ද්‍රස්ථාන හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රු.මි. 25 බැගින් රු.මි. 650ක මුදලක් වෙන් කර ඇත.

දෙවැනි අදියරේදී රු.මි. 10ක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් හඳුනාගෙන ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී, අදාළ ව්‍යාපෘති පිරිවැයෙන් 30%කට වැඩි දායකත්වයක් කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් විසින් දරනු ලබයි. ඉතිරි 70% සඳහා රජය දායකත්වය දරයි.

චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස රජය විසින් ලබාදෙන දායකත්වය පොළී රහිත ණයක් ලෙසින් ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙන් ලබාදෙයි.

ණය සහන කාල සීමාව උපරිම මාස 06ක් වන අතර, ණය සහන කාල සීමාව ද ඇතුලත්ව ණය මුදල ආපසු ගෙවිය යුතු උපරිම කාල සීමාව වසර 05කි.

එසේම ණය සහන කාල සීමාව හා ණය මුදල ආපසු ගෙවිය යුතු කාල සීමාව ගොවීන් හෝ කෘෂි ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා ලද ණය මුදලේ ප්‍රමාණය හා ව්‍යාපෘතියේ ස්වභාවය මත කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන මගින් තීරණය කෙරේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: