hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 24, පෙ.ව. 11:48



කුණ්ඩසාල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා නිවාස මඟින් මහවැලි ගංගාවට අපජලය බැහැර කරනවාද යන්න ගැන පරීක්ෂා කර එසේ කරන සියලුදෙනාට නඩු පවරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට හා ප්‍රාදේශීය ලේකම්වරියට පෙරේදා (22) නියෝග කළා.

මහනුවර කුණ්ඩසාලේ බලගොල්ල ජල පොම්පාගාරයෙන් මුදාහරින ජලය මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමක පවතින බවට නැඟෙන ජනතා චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා එහි කළ නිරීක්ෂණ චාරිකාවකදී ආණ්ඩුකාරවරයා මෙසේ නියෝග කළා.

පල්ලේකැලේ, බෝගම්බර, දුම්බර බන්ධනාගාරයෙන් බැහැර කරන මල – මුත්‍ර ඇතුළු නොයකුත් අපද්‍රව්‍ය මහවැලි ගඟට එක්වන බව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ අවට ගම්මානවල ජනතාව කරන චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා බන්ධනාගාර තාප්පයට පිටින් ඇති ගම්මානවලට ගිය ආණ්ඩුකාරවරයා එහි තාප්පයෙන් ඇතුළත ජලය පිටවීමට ක්‍රමයක් ඉදිකිරීම්වලදී සකස් කර නැති බවත්, ඒ සඳහා පසුකාලීනව තාප්පය කඩා ජලය බැස යෑමට සලස්වා ඇති බවත් නිරීක්ෂණය කළා.

බෝගම්බර බන්ධනාගාරයෙන් බැහැර කරන අපද්‍රව්‍ය සහිත ජලය මහවැලි ගඟට මුදාහරින ස්ථානයේ සිට මීටර් 100 පහළින් බලගොල්ල ජල පොම්පාගාරය පිහිටා තිබෙන බවත් පානීය ජලය ජනතාවට ලබා දුන්නත් එහි පවිත්‍රතාව ගැන කුණ්ඩසාලේ, බලගොල්ල පොම්පාගාරයේ ජලය ලබා ගන්නා ජනතාව සෑහීමකට පත් නොවන බවත් බන්ධනාගාරයේ ආරක්ෂාවට ඇති බැම්ම හිල් කර අපජලය ගම්මානය හරහා බැහැර කර මහවැලි ගඟට මුදාහරින බවත් එම ජලය හේතුවෙන් ජනතාවගේ ඇඟ කැසීම්, ලෙඩ රෝග ඇතිවෙන බවත් ජනතාව පවසනවා.

ස්ථාන කිහිපයකින් මහවැලි ගඟට අපජලය මුදාහරින අතර සවස් යාමය වන විට ගම්මානය පුරා දුර්ගන්දයක් හමන බවත් මෙම චාරිකාවේදී හමුවූ ප්‍රදේශවාසීහු ආණ්ඩුකාරවරයාට පැවැසූවා.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ලලිත් ගමගේ ආණ්ඩුකාරවරයා මෙසේ සඳහන් කළා.

“රාජ්‍ය ආයතනයක් වුණත් වැරැද්ද වැරද්දමයි. රජයෙයි මෙහෙයි කියලා නැහැ. ජනතාව අපහසුතාවට පත් වෙන දේවල් කරන්න එපා. පළමුවැනි කාරණය තමා රාජ්‍ය ආයතන තමා ජනතාවට ආදර්ශයක් දෙන්න ඕනි. රාජ්‍ය ආයතන වැරදි කරලා අනෙක්් මිනිසුන්ට වැරදි කරන්න එපැයි කියනවා නම් මේවා නතර කරන්නේ කොහොමද. මේ තාප්පය හදද්දි වතුර බහින්න ක්‍රමයක් හදලා නැහැ. අපිට, ඔයාලාට, මේ ජනතාවට ළමයි ඉන්නවා. මෙම ක්‍රියාවලිය නිසා මහවැලි ගඟ හරහා සෑම ප්‍රදේශයකටම මේ වතුර ටික යනවා”

කෙසේ වෙතත් බන්ධනාගාරයද අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන බැවින් අදාළ බලධාරීන් සමඟ කතා කර නීතිමය පියවරක් ගැනීමට පෙර මාස දෙකක කාලයක් ලබාදී මෙම ස්ථානයේ අවශ්‍ය ජලය භූගත කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රමවේදයක් ජලාපවහන මණ්ඩලයත්, බන්ධනාගාර අධිකාරිතුමා, රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සකස් කර අදාළ ඉදිකිරීම් කරන ආයතනයේ ඉන්ජිනේරුවරුන් සහභාගි කරගෙන නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔහු අදාළ අංශවලට එහිදී උපදෙස් දුන්නා.