2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:38
මත්කුඩු ජාලයට සම්බන්ධ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපුණු දේශපාලනඥයන් 80ක පමණ පිරිසකගේ තොරතුරු මාකඳුරේ මධූෂ් විසින් හෙළිකර තිබුණ ද පොලිස් අත්අඩංගුවේ සිටියදී අබිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු ඝාතනය වීමත් සමඟ ඒ කිසිදු දේශපාලනඥයකුට එරෙහිව විමර්ශනයක් සිදුව නැත.
පැවැති ආණ්ඩුවල සිටි මැති – ඇමැතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගැන බොහෝ තොරතුරු මාකඳුරේ මධූෂ් හෙළිකර තිබිණි. ඒ බව පොලීසිය නිල වශයෙන් ද විටින් විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහා ද මාධ්‍යට ලබාදුන්නේය.
මාකඳුරේ මධූෂ්ට ඩුබායිහි හෝටල් මෙන්ම මෙරට ද විශාල වශයෙන් දේපොල ඇති බව ද පොලීසිය එකල නිල වශයෙන් මාධ්‍ය හමුවේ සඳහන් කළේය. එම දේපොළ අත්පත් කරගැනීමක් හෝ සොයා ගැනීමක් ගැන පොලීසිය පසුව හෙළි නොකළේය. මධූෂ්ගේ ඝාතනයත් සමඟ එම දේපොළවලට වූ දෙයක් සොයා ගන්නටවත් නැත.
මත්කුඩු ජාවාරමට මහා පරිමාණයෙන් සම්බන්ධව සිටි බස්නාහිර පළාතේ දේශපාලනඥයෙක් ගැන පවා මාකඳුරේ මධුෂ් දීර්ඝ හෙළිදරව්වක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබිණි.
එම දේශපාලනඥයා නගර සභාවෙන් පළාත් සභාවටත් එතැනින් පාර්ලිමේන්තුවටත් පැමිණ පසුව රාජ්‍ය ඇමැති ධුරයක් ද දැරූවෙකි. මෙම දේශපාලනඥයා ඇතුළු මාකඳුරේ මධූෂ් විසින් හෙළිකරනු ලැබූ දේශපාලනඥයන් රැසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියත් එකල පැවැති යහපාලන ආණ්ඩුව පෙරළීමත් සමඟ එම විමර්ශන ඇනහිටිණි.
ඊට ප්‍රධාන වශයෙන් මුල් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ස්ථාන මාරු ලැබීමය.
එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස රාජකාරියේ නිරතව සිටියේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වත්මන් ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස එකල සේවයේ නිරතව සිටියේ අදටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාය.
මැතිවරණවලට ඇතැම් දේශපාලනඥයන්ට මුදල් වියදම් කළ ආකාරයත්, ගොඩනැඟිලි ලබාදුන් ආකාරයත්, ව්‍යාපාර ආරම්භ කිරීමට සහයෝගය දුන් අයුරුත්, මත්කුඩු ජාලයේ කළු සල්ලි දේශපාලනඥයන් මඟින් සුදු කළ අයුරුත් මාකඳුරේ මධූෂ් විසින් හෙළිකර තිබිණි.
මාකඳුරේ මධූෂ් ඩුබායි සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන්නට වූයේ පාතාලයේ ගෝඩ්ෆාදර් බවට පත්වෙමිනි. එහි දී ඔහුට දේශපාලනඥයන් විශාල පිරිසකගේ සහය පවා ඊට ලැබී තිබිණි. ඔහු විසින් මුදල් ආයෝජනය කළ වාහන කුලී ආයතනයක් එකල විවෘත කෙරන්නේ ද අගමැතිවරයෙක්ගේ ප්‍රධානත්වයෙනි. ඒ පිටුපස සිටියේ මාකඳුරේ මධූෂ්ගේ කළු සල්ලිවලින් යැපුණු දේශපාලනඥයෙක් බව බුද්ධි අංශ හෙළිකර තිබිණි. මේ දේවල් සිදුවන්නේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නට පෙරය.
මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වන්නේ 2019 වසරේ පෙබරවාරි 05 වැනිදාය. ඒ, සිය දියණියගේ උපන් දින සාදය පැවැති හෝටලය තුළදීය. ඩුබායි පොලීසිය විසින් ඔහු සමඟ එදා ශ්‍රී ලංකිකයන් 31 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ අතර කුප්‍රකට පාතාල අපරාධකරුවන් වූ කංජිපානි ඉම්රාන්, රොටුඹ අමිල ඇතුළු පිරිසක්ද ගායක පියපුතු දෙපලක්ද, රංගන ශිල්පියෙක්ද, බන්ධනාගාර නිලධාරියෙක් ද ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල අය විය. බොහෝ දෙනෙක් මෙරට සිට එම සාදය සඳහාම ඩුබායි ගිය අය බව හෙළිවිය.
මාකඳුරේ මධූෂ් ඇතුළු මෙම පිරිස මෙරටට පිටුවහල් කිරීමට හෝ භාර නොදීමට ඩුබායි බලධාරීන් මුලින් තීරණයකර තිබුණ ද පසුව එම අදහස වෙනස් වන්නේ එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සම්බන්ධයෙන් එක්සත් එමීර් රාජ්‍යයේ ප්‍රධානියා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
එම සාකච්ඡාවේ දිගුවක් ලෙස එවකට විදේශ ඇමැතිවරයාව සිටි තිලක් මාරපන මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අබුඩාබි වෙත ගොස් එක්සත් එමීර් රාජ්‍යයේ බලධාරීන්ද හමුවී තිබිණි. ඒ අනුව අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකේය සැකකරුවන් එකිනෙකා මෙරටට පිටුවහල් කරන්නට ඩුබායි බලධාරීන් පියවර ගත්තේය.
මාකඳුරේ මධූෂ්ව පිටුවහල් කරන අවස්ථාවේ දී ඔහුව ඩුබායි වෙතම ගොස් රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළේය.
මාකඳුරේ මධූෂ් එසේ මෙරටට රැගෙන එන්නේ 2019 වසරේ මැයි 05 වැනිදාය. ඒ රැගෙන පැමිණි ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන පැවැත්වීය.
දේශපාලනඥයන් ගැන මෙන්ම ඔහුට ඇති වත්කම් ගැන පවා තොරතුරු හෙළිවන්නේ එහිදීය. දේශපාලනඥයන්ට අමතරව මධූෂ් පොලීසියේ නිලධාරීන් ද බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව රජයේ නිලධාරීන් රැසක් ද සමීපව ඇසුරුකර ඇත. මේ හැම දෙයක්ම එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් හෙළිකරගෙන තිබීණි.
මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව පෙරළීමත් සමඟ මාකඳුරේ මධූෂ් විසින් හෙළිකළ දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ දේපොළ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනවලට වූ දෙයක් සොයා ගන්නට නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මධූෂ්ව හිටි හැටියේම කොළඹ අපරාධ කොට්ඨාසයට 2020 වසරේ ඔක්‍තෝබර් 16 වැනිදා හෝ ආසන්න දිනයක දී භාරදුන්නේය. ඒ, ඉහළ නියෝගයකින් බව සඳහන් කරමිනි.
කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගෙන පැය 24ක් යන්නට මත්තේන් මධූෂ්ගේ තොරතුරු මත යැයි සඳහන් කරමින් කොටිකාවත්තෙන් හෙරොයින් කිලෝ 10ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් සොයා ගත්තේය. මෙසේ මත්කුඩු තොගයක් මධුෂ්ගේ තොරතුරු මත සොයා ගත්තේ යැයි පවසන්නේ මාස 18ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියත් හෙළිනොවූ දෙයකි. අනතුරුව 19 වෙනිදා රාත්‍රී කාලයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාකඳුරේ මධුෂ්ව මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණයක් වෙත රැගෙන යන්නට සූදානම් වන්නේ එම නිවාස සංකීර්ණයේ 10 වැනි මහලේ සඟවා ඇතැයි මධූෂ් විසින් හෙළිකළා යැයි කියනු ලබන තවත් මත්කුඩු කිලෝ 22ක් සොයා ගන්නටය.
එම නිවාස සංකීර්ණය පැල්පත් හා මුඩුක්කු ඉවත්කර කොළඹ ඛෙත්තාරාම නිවාස සංකීර්ණය ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ ගොඩනැඟිලි සංකීර්ණයකි. මාකඳුරේ මධූෂ් ඩුබායි බලා යන විට මෙම නිවාස සංකීර්ණය ඇති භූමියේ තිබෙන්නේ පැල්පත් හා මුඩුක්කුය. මෙම නිවාස සංකීර්ණය ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලබන්නේද යහපාලන ආණ්ඩුව සමයේදීය. මාකඳුරේ මධූෂ් මෙම නිවාස සංකීර්ණයට සිය ජීවිතයේ කිසිදු අවස්ථාවක පැමිණ තිබුණේ නැත. මත්කුඩු තොගයක් 10 වැනි මහලේ නිෙවසක ඇති බව මධූෂ්ගෙන් හෙළිවූ බව කියන්නේ මෙවන් තත්ත්වයක් හමුවේය. පොලීසිය පැත්තෙන් එදා පැවසුවේ එම මත්කුඩු ඇති නිෙවස මධූෂ්ගේ තොරතුරු මත සොයා ගැනීමට යමින් සිටියදී නිවාස සංකීර්ණය තුළ දී පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ මාංචු පිටින් සිටි මධූෂ්ට නාඳුනන පුද්ගලයෙක් ළඟටම පැමිණ ඔළුවටම වෙඩි තබා පලාගිය බවය.
මාකඳුරේ මධූෂ්ව එදා මහ රෑ මෙම තට්ටු නිවාස සංකීර්ණයට රැගෙන එන බව දැන සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් සහ පොලිස් ප්‍රධානීන් කිහිපදෙනෙක් පමණි. එසේ තිබිය දී මධුෂ් ගොඩනැඟිල්ලට රැගෙන යන අවස්ථාවේ දී අවිගත් පොලිස් නිලධාරින් ඉදිරිපිට මාකඳුරේ මධුෂ්ට වෙඩි තැබීමට හැකියාවක් තිබේදැයි අදටත් ඇත්තේ සැකයකි. ඒ අදටත් එම වෙඩික්කරුව අල්ලා ගැනීමට පොලිසිය සමත්ව නොමැති බැවිනි.
මධූෂ්ගේ මෙම අබිරහස් මරණයත් සමඟ මධුෂ්ගේ මත්කුඩු ජාලයේ සිටි දේශපාලනඥයන් ඇතුළු පිරිස් සිටින්නේ නිදහසේ හුස්ම ගනිමිනි. කළු සල්ලිවලින් මධූෂ් අත්පත්කරගත් කෝටි ප්‍රකෝටි ගණනක් වූ දේපොළ ආගිය අතක් නොමැත.
මේ දේවල් ගැන දැන් නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල සිටම විමර්ශන ආරම්භ කිරීමට හැකිය. ඒ, පොලීසිය භාර අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටින්නේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටින්නේත් එකළ මාකදුරේ මධූෂ් ගැන විමර්ශන පවත්වා ඒ ගැන හොඳටෝම දන්නා නිලධාරීන් දෙදෙනක් වන බැවිනි.
Dinamina
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:25
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:01
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:57
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25