hit counter

2025 මැයි මස 17 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 08, පෙ.ව. 12:02



ජනපතිවරණයේ දී අවම වශයෙන් ඡන්ද 1000 ක් හෝ ලබා ගන්නට නොහැකි අය ද ඇප මුදල් තැන්පත් කිරීමෙන් මේ වනවිට ජනපති අපේක්ෂ ලැයිස්තුව 18 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ නිසා මුද්‍රණ වියදම් ඉහළ යෑමට අමතරව තමන් කැමැති අපේක්ෂයාට ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේ දී ජනතාව ද අසීරුතාවට පත්වනු ඇති බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසනවා.

ඇතැම් අප්‍රසිද්ධ පුද්ගලයින් නම ප්‍රසිද්ධ කර ගැනීමට ඇති කෑදර කම නිසා ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් ඉදිරියේ දී තවත් අය ඇප මුදල් තැන්පත් කිරීමෙන් ඡන්ද පත්‍රිකාව තවත් දිගුවීමට ඉඩ තිබෙන බවත් අනුනාමියෝ පැවසූවා.

අනුනාමියන් එසේ පැවසුවේය දූෂණය නවතමු  මව්බිම ගොඩ නගමු සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සහ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඊයේ (07) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී ය.

විධායක ජනපති ධූරය අහෝසි කිරීම ඇතුළු වැදගත් සංශෝධන රැසක් ඇතුළත් දූෂණයෙන් තොර රටක් බිහි කිරීම සඳහා වන නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා විසින් අනුනාහිමියන්ට මෙහි දී පිළිගන්වනු ලැබුවා.

එහි දී මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ මෙසේද පැවසූවා.

“ඡන්ද 1000 ක් ලබා ගැනීමට නොහැකි අය ජනපතිවරණයට ඉදිරිපත් වීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න ප්‍රශ්නයක්. මේ නිසා ඡන්ද විමසීමට අමතරව වැය කරන්නට සිදුවන මුදල කෝටි ගණනක්. මේවා මහජන මුදල් බව අපේක්ෂයෝ තේරුම් ගන්න ඕන. මහපතරංග ජාතකය මෙන් ඡන්ද පත්‍රිකාව දිගු වීම නිසා  රජයේ මුදල් මෙන්ම නිලධාරීන් ගේ කාලය,ශ්‍රමය අමතරව වැය කිරීමට සිදුවෙනවා.ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි හිමිනමක් ඒ සඳහා මුදල් ගෙන ඒමට අමතක වූ බව පවසා ආපසු හැරී  ගොස් නැවත වෙනත් දිනයක පැමිණ ඇප මුදල් තැන්පත් කළා. ජනපති ධූරයට පත්වීමේ අපේක්ෂාවෙන් වැඩ කරන අය ගේ මොළය වැඩ කරන්නේ මේ විදිහට  නම් ඒක විශාල ගැටලුවක්.උගත්, බුද්ධිමත් දේශාපලනය ගැන කිසිදු අවබෝධයක් නොමැති අය ජනපති ධූරය සඳහා ඉදිරිපත් වීම විශාල ප්‍රශ්නයක්. ඡන්ද පත්‍රිකාව අනවශ්‍යය ලෙස දක් වීමෙන් නියම සුදුස්සා තෝරා ගැනීමට යාමේ දී ඡන්දදායකයා ද අපහසුතාවට පත්වීමට ඉඩක් තිබෙනවා.ඡන්දදායකයින් ඇතැම් අපේක්ෂකයින් පසුපස තවලම පසුපස යන ගොනුන් සේ ගමන් කරනවා. පාර දන්න ගොනා ඒ පාර දිගේ ගමන් කරනකොට අනික් ගොන්නු ටික ඒ පස්සේ යන්නං වාලේ ඔහේ යනවා. රට බාර දීමට නියම සුදුස්සා කවුද යන්න තෝරා ගැනීමේ දී ජනතාව මේ ආකාරයට ගොනා පස්සේ යනවා යන්න ගියොත් ඉවරයි.

බලවට එන කවුරුවත් බලව අත්හරින්න සූදානම් නැහැ. විධායක ජනපති ධූරය අහෝසි කරන බව කී දෙනෙක් කිව්වද ?. ජනාධිපති පුටුවේ වාඩි වුණාට පස්සේ ඒවා සියල්ල අමතකයි.හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා බලය ටිකක් එහේ මෙහේ කළා. ජේ.ආර් ජයවර්ධන මහත්තයා මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි වලට අත්සන් අරන් ඒවා සාක්කුවේ දාගෙන තමයි ඒ අයගේ ඡන්දය ගත්තේ. මේක පුංචි රට කෑලි වලට කඩන්න දෙන්න බැහැ. පළාත් සභා වලට මොනතරම් නම් මුදලක් වැය කරනවා ද ?. ආණ්ඩුකාරවරු, මැති ඇමැතිවරු, නිලධාරීන්, වාහන, කාර්යාල වලට මොන තරම් නම් මුදලක් වියදම් වෙනවද ?. මේවා ජනතාවට උහුලන්න පුළුවන් වියදම් නෙවෙයි. දැන් පළාත් සභා නැතුවත් අපූරුවට ඒ වැඩ කරගෙන යනවා. පෘතග්ජන මිනිස්සු බලය අත්හරින්න කැමැති නැහැ. අත්හරිනවාට වඩා බදාගන්න තමයි උනන්දුව. ඒ නිසා තමයි අවුරුදු 80-90 වෙලත් දේශපාලනයේ ඉඳන් තනතුරු ගන්න හදන්නේ. ජනාධිපති පුටුවේ ඉඳගත්තට පස්සේ ආයෙත් මන්ත්‍රීවෙලා, ඇමැතිවෙලා ඉන්න හදනවා. මොකක් ද මේ කෑදරකම.”