hit counter

2025 සැප්‍තැම්‍බර් මස 15 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:15



පාලි භාෂාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීම උදෙසා සම්පාදනය කරන ලද සියවස් පැරණි බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය කෘති නැවත මුද්‍රණය කෙරේ.

කෘති දෙකම එක සංස්කරණයක් වශයෙන් පළ කර ඇති අතර සැප්. 13 සෙනසුරාදා පෙරවරුවේ සියම් නිකායේ මල්වතු හා අස්ගිරිය මහා නායක හිමිපාණන් වහන්සේලා වෙත එහි පළමු පිටපත් පිරිනැමෙනු ඇත.

පාත්ෆයින්ඩර් පදනම පාලි භාෂා සංරක්ෂණ හා පාලි භාෂාව ව්‍යවහාරය ප්‍රචලිත කරන අරමුණ ඇතිව ආරම්භ කරන ලද ව්‍යාපෘතියට අනුව පළ කරන ලද මෙම කෘතිය එදින පස්වරු 3.00ට මල්වතු හා අස්ගිරිය උත්තරීතර කාරක සංඝ සභා වෙත භාර කෙරෙන අතර එම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහත්වරු ඇතුළු ගිහි පැවැදි පිරිසක් සහභාගීවීමට නියමිතය.

බාලාවතාරො පෙළ පාලි භාෂාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීම උදෙසා මහනුවර ගඩලාදෙනි රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කල ද්විතීය ධම්මකිත්ති නායක හිමිපාණන් වහන්සේ විසින් ක්‍රි.ව. 1300 දී පමණ ග්‍රන්ථකරණය කරන ලද බව ඉතිහාසය දක්වයි.

ඉනික්බිතිව තුන්වන ධම්මකිත්ති නායක හිමිපාණන් වහන්සේ විසින් ගඩලාදෙණි සන්නය සකස්කොට ආධුනිකයින්ගේ පහසුව උදෙසා මෙහි භාෂා විලාශය තවත් ලිහිල් කොට තිබේ.

මුල් ආකෘතිය වෙනස් නොවන පරිදි පර්යේෂණාත්මකව මෙම කෘති සංස්කරණය කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ සහය කතිකාචාර්ය වැලිවිට සංරණංකර හිමිපාණෝ කෘතිය එළිදක්වන අවස්ථාවේ දී පාලි භාෂා භාවිතය ගැන විශේෂ දේශණයක් ද පවත්වනු ඇත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මුද්‍රණය සදහා අනුග්‍රහය දක්වන ලද පොත විහාරස්ථාන, පිරිවෙන්, විශ්ව විද්‍යාල පාලි අධ්‍යයන අංශ සහ පුස්තකාලවලට නොමිලේ පිරිනැමේ.

94114529952-3 අංකවලට කතා කිරීමෙන් හෝ [email protected] ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් තොරතුරු ලබාගත හැකිවේ.