hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 04, ප.ව. 4:44



මුතු රාජාගේ මුවාවෙන් රටේ පෙරහර සංස්කෘතියෙන් අලි ඇතුන් ඉවත්කිරිමට ඩොලර්වලින් යැපෙන එන්.ජි.ඕ නඩ මේ දිනවල කැහැපොට ගහනබව පෙනෙන්නේ යැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසනවා.

පෙරහර සංස්කෘතියෙන් අලි ඇතුන් ඉවත්කළ යුතුයැයි එන්.ජි.ඕ කණ්ඩායම් කලක සිට පෙ⁣රහර ආසන්නවන විට හඬක් නගන බවත් මේ දිනවල සිදුවන්නේද එයම බවත් උන් වහන්සේ සඳහන් කළා.

මෙම සංස්කෘතියට පහර ගසන එන්ජිඔි නඩේට ගිහියන් මෙන්ම ඇතැම් භික්ෂුන් වහන්සේද එක්ව සිටිම කනගාටුවට කරුණක් බවද ආනන්ද හිමියෝ පවසනවා.

“මුතුරාජාගේ ප්‍රශ්නයක් තිබු බව අපි පිළිගන්නවා.ඒ ප්‍රශ්නය දැන් ඉවරයි.නමුත් මේ නඩේ සුදානම් වෙන්නේ පෙරහර සංස්කෘතියෙන් අලි ඇතුන් ඉවත් කිරිමටයි.ඒ වෙනුවෙන් ඒ අය ගේ හඬ විවිධ ස්වරූපයෙන් දැන් මතුවෙනවා.පන්සල්වලට සන්නස් මගින් අලි ඇතුන් දෙන්න එපා කියලත් කිව්වා. පෙරහර සංස්කෘතියට අලි ඇතුන් එක්කරගත්තේ අද ඊයේක නොවේ.එය රජ සමයේ සිට සිදුවන්නක්.ඒ විතරක් නොවේ එදා රජවරු වැව් අමුණු හදන්නත් අලි ඇතුන් යොදාගත්තා.දැන් ඉන්න මේ පිටරට සල්ලිවලින් යැපෙන කණ්ඩායම් එදා සිටියානම් රජවරුන්ට වැවක්වත් හදාගන්න බැරි වෙනවා.

අලි ඇතුන් යොදාගෙන පෙ⁣රහර කිරිම අපේ අනන්‍යතාවක්.රජ්ජුරුවන්ගේ උත්සව වලට තවමත් අශ්වයන් යොදාගැනිම එංගලන්තයේ අනන්‍යතාවක්. අපේ පෙරහරේ අලි ගෙනියනවාට විරුද්ධව කෑගසන අය එංගලන්තයේ රජුගේ උත්සවයට අශ්වයන් යොදාගෙන කරන හිරිහැර ගැන කිසිම කතාවක් නැහැ. මේ විරෝධතා හුදෙක් සත්ව කරුණාව නිසා නොව අපේ සංස්කෘතියට ගහන්න කරන කුමන්ත්‍රණයක් කියලා හොඳටම පැහැදිලියි.නමුත් ඩොලර්වලින් යැපෙන මේ නඩවලට උවමනා ආකාරයට අපේ රටේ සංස්කෘතිය වෙනස් කළ නොහැකි.” යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කීහ.