hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු 04, ප.ව. 5:00



ගාල්ල ආසන්න මුහුදේදී ඉරාන නෞකාවකට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වූ බවට විදේශීය මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද (04) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ එවැනි ප්‍රහාරයක් පිළිබඳ පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

විදේශීය මාධ්‍ය රැසක් මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ කර තිබුණද, නාවික හමුදාව පවසන්නේ අදාළ නෞකාව අනතුරට පත්ව ඇති බවට තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වී එහි සිටි පිරිස බේරාගැනීමට කටයුතු කළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද සඳහන් කළේය.

“නෞකාවක් අනතුරට පත්ව ඇති බවට වාර්තා වූ සැණින් අපේ මූලික අවධානය යොමු වූයේ එහි සිටි තුවාලකරුවන් බේරාගෙන කඩිනමින් රෝහල්ගත කිරීමටයි. අනතුරට පත්වූවන්ගෙන් කරුණු විමසීමට වඩා එම අවස්ථාවේදී අපට වැදගත් වූයේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමයි. ඒ අනුව ඔවුන් වහාම රෝහල්ගත කිරීමට නාවික හමුදාව පියවර ගත්තා.”

මෙම සිදුවීමට අදාළව නෞකාවට සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී විධිමත් තාක්ෂණික පරීක්ෂණයක් පවත්වා කරුණු අනාවරණය කර ගැනීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.