hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 8:02



තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට බලාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍යවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඉකුත් ජූලි 19 වැනි දා නිකුත් කරන ලද අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගින් නිවේදනය කර තිබුණේ, තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක් රට තුළ භාවිතය තහනම් කරන බවයි.

ඒ අනුව අදාළ තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09 යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගැනීම තහනම් වනු ඇති.

මෙම තහනමට අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම අද (01) සිට තහනම් භාණ්ඩ වෙයි.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා සඳහන් කරනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අදාළ තහනම ක්‍රියාත්මක වූ පසු උක්ත අයිතම රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර තහනම කඩ කරන පුද්ගලයන්ට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීමට විධිවිධාන ඇතුලත්.

ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විසින් නිකුත් කරමින් කියා සිටියේ, “ප්ලාස්ටික් මගින් සිදුවන අතිවිශාල පරිසර දූෂණය වැළැක්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. ඒ අනුව, මෙම තහනම පනවනු ලැබුයේ ද අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් අයිතම භාවිතය සහ ඒ ආශ්‍රිතව පැන නගින පාරිසරික ගැටලු අවම කර ජීවීන් ඇතුළු පරිසරය රැකගැනීමට පිටිවහලක් ලබාදීමේ අරමුණෙනි. එමෙන්ම පරිසර හිතකාමී විකල්ප ආශ්‍රිත දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ද ප්ලාස්ටික් ආනයනයේදී විදේශ විනිමය අඩුකර ගැනීමට ද මින් පිටිවහලක් සැලසේ” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: