hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මාර්තු 09, පෙ.ව. 4:18



අන්තර් ජාලය හරහා ණය ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් එයට හසු නොවන ලෙසත් ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමයේ නීති උපදේශක නීතිඥ සඳරුවන් සේනාරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ජාවාරම තුළින් දෛනිකව රුපියල් කෝටි 05 ක පමණ මුදල් ප්‍රමාණයක් බැංකු හරහා සංසරණය වන බවට දැන ගන්නට තිබෙන බවද ඔහු පවසනවා.

මෙම ආයතනය හරහා ණය ලබාගත් පිරිස අතරින් මේ වන විට තිදෙනකු සියදිවි හානිකර ගෙන ඇති බවත් තවත් දෙදරු මවක් දිවි නසා ගැනීමට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කළා.

මෙම ආයතනයෙන් ණය ලබා ගැනීමේදී මුලින්ම රුපියල් 10,000 ක් බැංකු හරහා ලබාදී ක්‍රමයෙන් ලක්‍ෂ 2ක ණය මුදලක් ලබාගත හැකි බවත් ඒ මහතා පවසයි.

ණය දීමට පෙර ණය ලබාගන්නා පුද්ගලයාගේ සියලු තොරතුරු ලබාගෙන ඔහුගේ ජංගම දුරකථනය හැක් කර ණය ගෙවීම් ප්‍රමාද කරන්නේ නම් ණය හිමියාගේ ඡායාරූපය සහිත දැන්වීමක් ‘ඔහු හොරෙක්’ ලෙස හඳුන්වා වට්ස් ඇප් හෝ වෙනත් ආකාරයෙන් ණය හිමියා ඇසුරු කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට විවිධ අදහස් දැක්වීම් සිදුකරන බවත් ඔහු පැවසුවා.

මෙම ආයතනයේ ස්ථිර ලිපිනයක් සඳහන් වුවත් එය ව්‍යාජ එකක් බවත් එම ආයතනයට හිමිකරුවකු නොමැති බවත් විමර්ශනවලදී පිටිසර ගමක අවුරුදු 22 ක පමණ තරුණයකු මෙම ආයතනයේ අධ්‍යක්‍ෂ ලෙස හඳුන්වාදී ඇති බවත් නීතිඥ සේනාරත්න මහතා කියා සිටියා.

එම ආයතනයේ පුද්ගලයකු තමාගෙන් කොළවලට අත්සන් ගත් බවත් ඉන් එහා කිසිවක් තමා නොදන්නා බවත් පොලිස් විමර්ශනවලදී මේ තරුණයා පවසා තිබෙනවා.

මෙම ආයතනයෙන් ණය ලබාගෙන ණය ගෙවීම ප්‍රමාද කරන ණය හිමියන්ට විවිධ අංකවලින් අසභ්‍ය වචනවලින් බැන වැදීම් සිදුකරන බවට පැමිණිලි රැසක් මේ වන විට පොලිස් ස්ථාන කිහිපයක දමා ඇතත් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බවත් නීතිඥ සේනාරත්න මහතා පැවැසුවා.

මෙම ජාවාරම්කරුවන් මෙරට සිට හෝ විදෙස් රටක සිට ක්‍රියාත්මක වනවාද යන්න සැකයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුනොවීම නිසා මොවුන්ගෙන් ණය ලබාගන්නා පුද්ගලයන් අධික පොලියක් සමග ණය ගෙවීමට අපොහොසත් වීම නිසා සමාජයට මුහුණදී ගත නොහැකි තත්ත්වයට පත්ව සිටින බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.