hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 04, ප.ව. 2:20



තමා සේවා ස්ථානයේ කොහු අඹරණ යන්ත්‍රයකට අසුවී දකුණු අතේ උරහිසේ සිට අඟල් පහක් පමණ පහලින් වූ කොටස සම්පූර්ණයෙන්ම වෙන් වූ තිස් හතර හැවිරිදි  කාන්තාවකට පැය හයක සැත්කමකින් පසු එම අත් කොටස  ඉතාමත් සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ වෛද්‍ය අමිල සසංකරත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාව කොහු අඹරණ යන්ත්‍රය පිරිසිදු කරමින් සිටිය දී එය එක්වරම ක්‍රියාත්මක වී ඇගේ දකුණු අතේ වැලමිටට ඉහලින් කොටස යන්ත්‍රයට අසු වී කැඩී වෙන්වී තිබෙනවා.

අධික රුධිර වාහනය සමග අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද රෝගියා මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු කඩිනමින් මහනුවර ජාතික රෝහලට මාරු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන  ඇත.

මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතාගේ මෙහෙයවීම  යටතේ  වෛද්‍ය උදය කිරිදෙන, වෛද්‍ය සතිර ප්‍රේමරත්න,විකලාංග ශල්‍ය වෛද්‍ය,ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී උදාර රත්නායක,නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උඩුවෙල,වෛද්‍ය කසුන් හා සේනක (02) දින මෙම සැත්කමට සම්බන්ධ වී ඇත.

ශ්‍යාමා නානයක්කාර, සිතාරා සුරවීර,චන්දිමා සෙනවිරත්න, තිළිණි අබේවර්ධන,එරන්දි මදුෂානි,සාසනී කොස්තා යන හෙද නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්ද සැත්කමට සහයෝගය ලබා දී තිබෙනවා.

අනතුරින් පසු අතින් වෙන් වූ කොටස අයිස් වල ගිල්වා ඉතා සුරක්ෂිතව රෝහල කරා යොමු කිරීමට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබීම නිසා අත සාර්ථකව බද්ධ කිරීමට හැකි වූ බව සැත්කමට සම්බන්ධ වූ වෛද්‍යවරු පවසනවා.

සැත්කමට ලක් වූ රෝගියා විශේෂ අධීක්ෂණය යටතේ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විට කිසිදු සංකූලතාවයක් ඇය වෙතින් දක්නට නොලැබෙන බව වෛද්‍යවරු සඳහන් කළා.