hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 10:03



2022 ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වුණා.

එම අවස්ථාවට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතිය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද එක්ව සිටියා.

රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති පරාක්‍රම නිරිඇල්ල මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“කලාවට අතහිත දීමේ සහ සත්කාර කිරීමේ තිරසාර වැඩපිළිවෙළක් ප්‍රතිපත්තියක් රජයට නොමැතිවීමේ ඛේදනීයත්වයක් තුළ කලාකරුවන් පීඩනයට හසු වෙනවා. උපදේශක මණ්ඩලය කටයුතු කරන්නේ ප්‍රජාතාන්ත්‍රීය අවකාශයක් තුළ. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමාටත්, නාට්‍යවේදී කලයි චෙල්වම් මැතිතුමාටත්, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමාටත්, ජීවිතයේ එක්වරක් ලැබෙන නාට්‍ය ගීත සම්මානය නාට්‍ය කලාවේ උන්නතියට කළ දායකත්වය සලකා ප්‍රධානය කළ යුතු යැයි රාජ්‍ය නාට්‍ය උළෙලේ උපදේශක මණ්ඩලය යෝජනා කළා. අපේ නිර්දේශ මත මේ තිදෙනාටම ගෞරවනීය ලෙස දන්වා සංස්කෘතිය කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවගේ අත්සනින් 2023 නොවැම්බර් 11 වැනිදා ආරාධනා ලිපි යවා තිබෙනවා. ඉන්පසුව නැවතත් එම අධ්‍යක්ෂිකාවගේම අත්සනින් නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාට 2023 දෙසැම්බර් 11 වනදා ලිපියක් යවනවා ඔහුට හිමි විය යුතු සම්මානය ලබන අවුරුද්දේ දෙනවා කියලා.

කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ? මේ සම්මාන යෝජනා කළ රාජ්‍ය නාට්‍ය උපදේශන සභාව මේ ගැන දැනුවත් කළාද? මේ ගැන විමසීමේදී මට දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණේ ඇමතිතුමාගේ නියෝගයක් අනුව මේ වෙනස කළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙවෙයි මේ ලෝකේ කොහේදිවත් සිද්ධ වුණා කියලා මම අහලා නැහැ. මේක නාට්‍ය කලාවට මෙහෙවරක් කළ නාට්‍ය කලාකරුවෙකුට කළ අගෞරවයක්. නාට්‍ය උත්සව ඉතිහාසයේ මෙහෙම පනස්වැනි සංවත්සරයට ඇති කළ මකා දැමිය නොහැකි කිලුටක්. ඇමතිතුමාටත්, අධ්‍යක්ෂකවරියටත් ගැලපෙන ආකාරයට උපදේශන මණ්ඩලයේ නිර්දේශ සහ උපදේශන මණ්ඩලයේ තීරණ අත්තනෝමතික ලෙස වෙනස් කරන්න පුලුවන් නම් මම සහ අපි මේ උපදේශන මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ. මේ නිසා මම මේ වේදිකාවෙන් පහළට බහින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශන මණ්ඩලයේ සභාපතිත්වයෙන් සහ එහි සාමාජිකත්වයෙන් ඉවත් වෙනවා.”