hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් 04, පෙ.ව. 12:12



උත්සව සමයේ සාප්පු සවාරි සඳහා යන ජනතාව ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අතර, එවැනි වංචාවලට හසු නොවීමට වගබලා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන අනතුරු අවම කර ගැනීම, සාප්පු සවාරි යෑමේ සිට විනෝද චාරිකා සහ නෑගම් යෑම දක්වා වූ සියලු කටයුතුවලදී මහජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ඒ මහතා අවධාරණය කර සිටියේය. එමෙන්ම තමන් සතු රන් ආභරණ සහ මුදල් පසුම්බි අනාරක්ෂිත ලෙස තබා නොගැනීමට වගබලා ගන්නා ලෙසත්, තමන් පාවිච්චි කරන යතුරුපැදි හෝ ත්‍රිරෝද රථ ගාල් කිරීමේදී වගකීම් සහිත අයකුට හෝ ආරක්ෂක නිලධාරියකුට භාර දී යෑමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. නෑගම් යෑම, විනෝද චාරිකා හෝ ආගමික ස්ථාන කරා යන ගමන්වලදී තමන් තෝරා ගන්නා වාහනය සහ රියැදුරු පිළිබඳව මෙන්ම, එම වාහනවල යාන්ත්‍රික දෝෂ පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව වුට්ලර් මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම මත්පැන් පානය කර රිය පැදවීමෙන් වැළකී සිටීමත්, මාර්ග නීතිවලට අනුගතව කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් බවද අවධාරණය කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරුවලට ප්‍රධානතම හේතු ලෙස අධික වේගය, බීමත්කම, විඩාව සහ අන්තරාදායක ලෙස රිය පැදවීම හඳුනාගෙන ඇති බවත්, මෙම රථවාහන වැරදි මැඬලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් දස දහසක (10,000) පිරිසක් සේවයේ යොදවා ඇති බවත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: