2023 ඔක්තෝබර් 08, ප.ව. 2:25
C.D වික්‍රමරත්න මහතා ට ලබා දුන් පොලිස්පති ධුරයේ දෙවන සේවා දිගුව හෙට(09) දිනයෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව පොලිස්පති ධුරය සඳහා සුදුසු අයෙකු පත්කර ගැනීමට නොහැකි වීම නිසා එම ධුරය දෙවන වතාවටත් යළි හිස් වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයක්.
C.D වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව හිස් වූ පොලිස්පති ධුරය සඳහා වෙනත් අයෙකු තෝරා පත් කරගැනීම මාස හයක පමණ කාලයක සිට නිසි පරිදි සිදුවන්නේ නැහැ.
එම නිසා වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය ද ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකක දී ඔහුගේ සේවා කාලය මාස තුනකින් දීර්ඝ කළා.
පළමු වරට ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි.
ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් වුණා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඒ සඳහා පවතින තරගය නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මේ වනවිට යෝජනා වී ඇති බව සඳහන්.
මේ අතර පොලිස්පති ධුරය සඳහා යම් අයෙකු පත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවට, එම ධුරය හිස් වූ දිනයේ සිට පාර්ශ්ව රැසක් ප්‍රකාශ කර සිටියා.
නීතිඥවරුන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා පොලිසියේ ආදර්ශමත් සහ නොකැළැල්, සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් බවයි.
ඔවුන් මෙම ඉල්ලීම කර තිබුණේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.
පොලිසිය කෙරෙහි මහජනතාව තැබූ විශ්වාසය පසුගිය කාලසීමාවේ බරපතළ ලෙස ඛාදනය වූ අයුරු දක්නට ලැබුණු බව පවසා ඇති නීතිඥ සංගමය, පොලිසියේ ස්වාධීනත්වය, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණ පිළිබඳව ද අදාළ ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබුණා.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ, එවකට ඊට අදාළ ව වගකිවයුතු තනතුරු දැරූ පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිස්පති ධුරය සඳහා නම් කර ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු නොකරන ලෙසට ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා.
එවන් පසුබිමක පොලිස්පති ධුරය සඳහා වෙනත් අයෙකු පත් කර ගැනීමේ කටයුත්ත ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති අතර එම ධුරය යළි හෙට සිට හිස් වන්නේ දෙවන අවස්ථාවටයි.
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06