hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 15, පෙ.ව. 10:48



කූට ලේඛන උපයෝගි කරගනිමින් අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධිය. සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කළ පරීක්ෂණයේ වාර්තාව පදනම් කරගනිමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පතිනිය වන පී.ආර්.සී.කේ. රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ඊයේ (14) මාරුකර තිබෙනවා.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පති ධුරයේ වැඩ බැලීමට තාවකාලිකව නියෝජ්‍ය විදුහල්පතිවරයා පත්කර තිබෙනවා.

විදුහල්පතිනිය තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීම පරීක්ෂණවලට බාධාවක් බවයි පරීක්ෂණ කණ්ඩායම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ.

කූට ලේඛන උපයෝගි කරගෙන පාසලට ළමයින් ඇතුළත් කිරීමට අදාළව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් කමිටුවක් පත්කර තිබෙනවා.

කමිටුවේ මූලික විමර්ශන වාර්තාව සමඟ චෝදනා පත්‍රය තමන් වෙත ලැබී තිබෙන බවත් එය පදනම් කරගනිමින් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විදුහල්පතිනිය මාරුකිරීමට පියවර ගත් බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා සඳහන් කළා.

ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේදී කූට ලේඛන උපයෝගි කරගෙන තිබෙන බවට ලද පැමිණිලි මත කටුගස්තොට රණවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පසුගියදා මහනුවර පොලිසියේ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කූට ලේඛන මඟින් පාසලට ඇතුළත් කර තිබෙන බවට චෝදනා එල්ල වන ළමයින් 29 දෙනකුගේ මවුපියන් අතරින් පස් දෙනකුගෙන් මේ වනවිට පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්දසිරිගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.

මෙයට අමතරව වසර 2018-2021 අතර කාලයේදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ 02, 03, 04, 07, 08 හා 09 ශේ‍ර්ණිවලට තවත් ළමයින් 180 දෙනකු නියමිත නීතිමය ක්‍රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මඟින් අනාවරණය කිරීමත් සමඟ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් කර අදාළ වාර්තාව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙනවා.

මහනුවර – කමල් සුරවීර