hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 මැයි 15, පෙ.ව. 11:01



කොළඹ මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ කාර්ය භාර නිලධාරියාගේ නිවසට කඩා වැදී ගිනිඅවියක් එල්ල කර පහර දී දණ ගස්වා වීඩියෝ කළ පාතාල සාමාජිකයන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව ගම්පහ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා.

සන්නද්ධ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් පහර කෑ බන්ධනාගාර නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරු කර තිබෙනවා.

සංඛ කුසල් මාරසිංහ නම් වූ මෙම නිලධාරියා මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන සිරකරුවන් කොටු කර ගැනීම සඳහා විශාල කාර්ය භාරයක් කළ නිලධාරියෙකු බව මැගසින් බන්ධනාගාරය අවධාරණය කරනවා.

දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වන්නේ, මීට මසකට පෙර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුගේ උපන්දින සාදයක් නිමිත්තෙන් බන්ධනාගාරය තුළට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් මෙම නිලධාරියා කොටු කර ගැනීමට එරෙහිව මෙම පහර දීම කිසියම් රැඳවියෙකු විසින් සැලසුම් කර ඇති බවයි.

එමෙන් ම මීට පෙර ද මෙම නිලධාරියාට මරණ තර්ජන එල්ල කර තිබූ බව ද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඉකුත් 12 වන දා අලුයම් කාලයේදී ගිනිඅවියක් ද අතැතිව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම බන්ධනාගාර නිලධාරියාගේ නිවසට කඩා වැදුණු තිදෙනෙකු, “මාරසිංහ මහත්තයා ‍ෙදාර පොඩ්ඩක් අරින්න” යැයි කියමින් ‍ෙදාරට තට්ටු කර තිබෙනවා. ‍

දොර විවර කර ඇති අතර ඒ සැණින් ඔවුන් නිවස තුළට ඇතුළු වී, “රටේ කුඩු නවත්වන්න බැරි එකේ බන්ධනාගාරයේ කුඩු නවත්වන්න උඹ මොන මිනිහෙක් ද යකෝ? අපේ දේවල්වලට ඇඟිලි ගහලා වීරයෙක් වෙන්න හදන්න එපා,” යැයි පවසා පහර දීම කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ඔවුන් තිදෙනා ම මුහුණු ආවරණ පැළඳ කළු පැහැති ජැකට් දමාගෙන සිට තිබෙනවා.

මැරයන් නිවස තුළට කඩා වැදීමත් සමග කාමරයක නිදා සිටි ඒ මහතා ඉන් පිටතට පැමිණ ඇති අතර මැරයන් ඔහුට පිස්තෝලය එල්ල කළ දණගස්වා පහර දී තිබෙනවා.

මැරයන් මොහුට මෙන් ම මවටත් අතින් පයින් මෙන් ම පිස්තෝල මිටෙන් ද පහර දීමත් සමග ඔහුගේ දෑත් සිප් පටියකින් ගැට ගැසීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙසින් ඒ මොහොතේ ම විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වූයේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් මාරසිංහගේ නිවසට පැමිණ ඇති බවයි.

මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා බුද්ධි නිලධාරීන් ද යොදවා ඇතැයි වාර්තා වෙනවා.