hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10



කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ලබන 2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන ජාතික අවම වේතනය රුපියල් 30,000 ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

මෙම වේතන සංශෝධනයට අදාළ පනත් කිහිපයක් 2025 ජූලි 22 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ඇති අතර, එම විධිවිධාන 2025 අප්‍රේල් 01 වැනිදා සිට වලංගු වන පරිදි ක්‍රියාත්මක වේ.

එම නීතිමය ප්‍රතිපාදනවලට අනුව, පළමු අදියර යටතේ 2025 අප්‍රේල් 01 දින සිට, රුපියල් 17,500 ක්ව පැවති මාසික අවම වේතනය රුපියල් 27,000 ක් දක්වා ඉහළ නංවා ඇති අතර, දෙවන අදියර ලෙස 2026 ජනවාරි 01 වැනිදා සිට එය රුපියල් 30,000 ක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇත.

මෙම මාසික අවම වේතන වැඩිවීම, සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, අතිකාල දීමනා, පාරිතෝෂික දීමනා, ප්‍රසූතිකාධාර මෙන්ම නිවාඩු දින ගෙවීම් වැනි සියලුම ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා පදනම් කර ගත යුතු බව අවධාරණය කර තිබේ.

තවද, යම් කර්මාන්තයක හෝ සේවාවක, අතරමැදියකු හෝ කොන්ත්‍රාත්කරුවකු මාර්ගයෙන් සේවයේ නිරත කරවන සේවකයන් සම්බන්ධයෙන් වුවද, ආසන්නතම සේවා යෝජකයාගේ සිට අවසාන සේවා යෝජකයා දක්වා සියලු දෙනා මෙම නියමයන් ක්‍රියාත්මක කිරීමට නීතියෙන් බැඳී සිටින බව ද සඳහන් වේ.

මෙම විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරා ඇති අතර, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් ද මේ වන විටත් පළ කර තිබේ. කම්කරු අමාත්‍යවරයා විසින් මෙම තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අදාළ වේතන වැඩි කිරීමේ විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමි වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: