hit counter

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි 14, පෙ.ව. 12:33



අරගල සමයේදී අරගලකරුවන්ගේ ඉල්ලීම් උපහාසයෙන් බැහැර කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම, අද බලයට පැමිණි පසු අරගලයේ ක්‍රියාකාරීන් පාවා දෙමින් සිටින බව ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ මහතා පවසනවා. 

රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අරගල සමයේදී අරගලකරුවන් නියෝජනය කළ කණ්ඩායමක් පැලවත්ත කාර්යාලයේදී අනුර කුමාර දිසානායක මහතා හමුවී සහාය ඉල්ලූ අවස්ථාවේදී ඔහු එම ඉල්ලීම ඔච්චම් සහගතව බැහැර කළ බවයි. 

තමන් වැඩ සිදු කරන්නේ ව්‍යවස්ථාවට අනුව බවටත්, ව්‍යවස්ථාවේ අරගලය යනුවෙන් කිසිදු දෙයක් ලියවී නැති බවටත් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවසූ බව පුබුදු ජයගොඩ මහතා සඳහන් කළා.

එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමට පෙර ඔවුන්ගේම සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ආකාරය සහ වර්තමාන තත්ත්වය අතර පරස්පරයක් පවතින බව පුබුදු ජයගොඩ මහතා  පෙන්වාදෙනවා.  

ටවුන් හෝල් ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකදී මියගිය ජාතික ජන බලවේගයේ සාමාජිකයා වෙනුවෙන්වත් යුක්තිය ඉටු කිරීමට රජය මෙතෙක් පියවර ගෙන නැති බව පැවසූ ඔහු පෙන්වාදෙන්නේ, පොලිසියට එරෙහිව දමා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පවා ආණ්ඩුව විසින් ඉල්ලා අස්කර ගත්  බවයි.

අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ නඩුවේ තීන්දුව පිළිබඳව සතුටු වන බවට ඇමති සමන්ත විද්‍යාරත්න මහතා කළ ප්‍රකාශය ද පාවාදීමක් ලෙස හඳුන්වා දුන් පුබුදු ජයගොඩ මහතා, නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින අසමානතාවය පිළිබඳව එහිදී විමසා සිටියා.

ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලලිත්-කූගන් වැනි දේශපාලන ඝාතන සහ අතුරුදහන් කිරීම් ගැන වසර ගණනාවක් ගතවීත් යුක්තිය ඉටු නොවන්නේ ඇයි යනුවෙන් විමසා සිටි ඔහු රතුපස්වල සහ මහර බන්ධනාගාර වෙඩි තැබීම්වලදී නීතිපති දෙපාර්තමේන්තුව අද මෙන් යුහුසුළුව ක්‍රියා නොකළේ ඇයිදැයි යනුවෙන් ප්‍රශ්න කළා.

මෙම නඩු තීන්දුව තුළ සිද්ධිය දෙස බලා සිටි අහිංසක පුද්ගලයන් පවා වැරදිකරුවන් වී ඇති බව ඔහු අවධාරණය කළා.

කෙසේවෙතත්  එම තීන්දුවට එරෙහිව නීතිමය වශයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමටත් දේශපාලනිකව උද්ඝෝෂණ කිරීමටත් ජන අරගල සන්ධානය කටයුතු කරන පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියා.

” පෙට්‍රල් පෝලිං වල මිනිස්සු මැරුණා. ගෑස් පුප්පුරලා මිනිස්සු මැරුණා. රඹුක්කන සාමකාමී උද්ඝෝෂණයකට වෙඩි තියලා මිනිස්සු මැරුණා. අද අද නීතිය කාටත් එකයි කියලා කියන අය කතා කරන්නේ නැහැ. රඹුක්කන මැරිච්ච අයට මොකද වෙන්නේ? කල් ඉකුත් වූ කඳුළුගෑස් ගැහුවා. කල් ඉකුත් වූ කඳුළු ගෑස් වලින් තරුණයෝ මැරුණා. ඒ ඒ අයගේ නම් පිටින් එක කතා කරලා තියෙනවා. ඊට පස්සේ අරගලය සිද්ධිය වෙන්නේ මැයි නවය. එදා මේ සිද්ධිය වෙද්දි මැයි නවය එක ගැන ගොඩක් අය දැන් කතා කරන්නේ මැයි නමයට තිබ්බේ හවස් වරුවක් විතරයි කියලා. නෑ මැයි නවයට උදේ වරුවක් තිබුණා. ඒ උදේ වරුවේ මොකද උනේ. ඒ ඒ මන්ත්‍රීවරු ඇයි කොළඹ ඇවිල්ල හිටියෙ. ඒගොල්ලෝ ආවේ මොකටද මොකක්ද ඒ වෙච්ච සිද්ධිය. ඒවා ඔක්කොම අමතක කරලා මේ කතා කරන්න බෑ නිශ්චිතව නිට්ටඹුව සිද්ධිය උනත් එතන වෙඩි තැබීමක් සිද්ධ වුණා එක තරුණයෙක් මිය ගියා. අමරකීර්ති මන්ත්‍රීවරයාගෙ ආරක්ෂකයා වෙඩි තියලා මිය ගියා. තව තරුණයෙක් අදටත් පැරලයිස් වෙලා ඉන්නවා.

ආණ්ඩුවේ අය එන්. පී.පී එකේ අය කලිනුත් ඔහොම තමයි .කලිනුත්තම හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා ඇවිල්ලාලා කිව්වා,ගෝල්ෆේස් එකෙ මිනිස්සු නිකං මේ කෑම කාලා හුලං වදින්න මිනිස්සු එන්නේ කියලා. අරගලේ නියෝජිත කණ්ඩායම ගිහින් අනුර කුමාර දිසානායක මහත්මයාව හම්බුනාට පස්සේ පැලවත්ත කාර්යාලයේදී මේ අරගලයට උදව් කරන්න කියලා කියද්දි. එයා ඔච්චං සහගතව ඒක බැහැර කරලා කිව්ව මම වැඩ කරන්නේ ව්‍යවස්ථාවට අනුව අරගලය කියලා එකක් ව්‍යවස්ථාව ලියලා නෑ කියලා. ඒගොල්ලෝ එදත් එහෙමයි හිටියේ පස්සේ මේ මැතිවරණයේදී අරගලේ අරගලේ කියලා මැතිවරණයේදී බයිලා ගැහුව නමුත් මං හිතන්නේ අරගලයේ හිටපු අය දන්න්වා මොකක්ද එගොල්ලො කරේ කියලා. එයාලා මුකුත් කරේ නෑ එතන. අද ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන බරපතළ පාවාදීමක් කරනවා. ඒකයි මෙත අ තියෙන ප්‍රශ්නය. පාවාදීම කෙරෙන්නේ දැන් මේ කියනවා නීතිය සාධාරණය ඉශ්ඨ වුනා කියනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: