hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2025 ඔක්‍තෝබර් 29, ප.ව. 5:04



රනිල්ගේ බ්ලොක් එක මග ඇරලා වෙන සයිඩ් එකකින් ලේ යනවා ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව අද දින කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ ඇප ලැබුණාට පසුවද යන්නයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාල විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදු වූ සිතුවීම් වලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිවයුතු පුද්ගලයන් කවුද ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙර නඩු දිනයේ හිටපු ජනපතිවරයා සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය ප්‍රශ්න කළා.

“ස්වාමිනි, පෙර දිනයේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ නීතිඥයින් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පැමිණිල්ලට ලැබුණේ නැහැ. මේ නඩුවේදි මුදල් අවභාවිතයක් පමණක් නොවෙයි. අධිකරණමය ක්‍රියාවලියත් අවභාවිතයට ලක්වෙලා තියෙනවා. 

මොකද මේ විත්තිකරු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නැතුව, ඔහුගේ පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී.ඒ. විජේසිංහ ලවා විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගෙන් වෛද්‍ය වාර්තා අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය පිළිබඳ පැමිණිල්ලට ප්‍රශ්න තියෙනවා”.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙර දිනයේ හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නීතිඥවරුන් සිදුකළ කරුණු දැක්වීම් සහ ඔහුගේ හැසිරීම් පිළිබඳ විවේචනයක්ද සිදු කළා.

“ස්වාමිනි, පෙර දිනයේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රෙමරත්න කිව්වේ, තමන්ගේ සේවාදායකයාගේ රෝග උත්සන්නවෙලා, බන්ධනාගාරයේ තියන්න බැහැ, ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා කියලා. සාමාන්‍යයෙන් දැඩි සත්කාර හිටපු රෝගින්ව එහි ප්‍රතිකාර අවසන් වුණාම සාමාන්‍ය වාට්ටුවකට දානවා. 

හැබැයි මේ සැකකරු ඇප ලබා එක දවසකින් රෝහලෙන් පිටවෙලා යනවා. ඒ යන්නෙත් රෝහලේ වෛද්‍යවරුන් එක්ක හිනාවෙලා සෙල්ෆි ගහලා. ඊළඟට ලෝකේ මොන දැඩි සත්කාර ඒකකයේද ස්වාමිනි අසාධ්‍ය තත්ත්වයේ ඉදපු රෝගියෙක් බොරිස් ජොන්සන්ගේ පොත් කියවලා තිබුණේ. අසාධ්‍යයි කියපු මේ සැකකරු රෝහල්ගතව ඉදපු කාලය පුරාම කරලා තියෙන්නේ එක එක පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ගත්තු එක. 

මේ සැකකරු නිකං සැකකරුවෙක් නොවෙයි ස්වාමිනි. පැය 36ක් තුළ රාජ්‍ය මුදල් ලක්ෂ 166ක් අවභාවිතා කළ තැනැත්තෙක්”.

මෙහිදී කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුගේ ඇප අවලංගු කිරීමක් අපේක්ෂා කරන්නේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටියා.

එවිට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු ඇති බැවින් ඇප නියෝගය යළි සමාලෝචනය කරන්නැයි ඉල්ලා සිටියා.

අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමිනි, මේ නඩුවේ පදනම හිටපු ජනාධිපතිවරයාට ලද ආරාධනය නිල ආරාධනයක්ද ? නැද්ද ? කියන එක. ඒ ඒ ගැන විමර්ශන ඉදිරියට කරලා නැති නිසා ඒක වහගන්න දැන් මේ වෛද්‍ය වාර්තා ඇදලා ගන්නවා. මගේ සේවාදායකයාව අත්අඩංගුවට ගත්තු දවසේ පැය ගාණක් කන්නත් නැහැ බොන්නත් නැහැ. 

එදා රෑ වෙනකං ඒ වගේ තත්ත්වයක තිබ්බ නිසයි මගේ සේවාදායකයාව දැඩි සත්කාර ඒකකයට දාන්න වුණේ.  නැත්නම් ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්න තරම් රෝගී තත්ත්වයක් තිබුණේ නැහැ”.

ජනාධිපති නීතිඥවරයා එසේ පැවසීමත් සමඟ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ ප්‍රශ්න කළා.

“පෙර දිනයේ කිව්වා නේද මේ සැකකරුට හෘද වස්තුවේ පටක මියයාමක් තියෙනවා. තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ තියෙනවා කියලා. මරණාසන්නයි කියලා? “

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා,

“ස්වාමිනි, හෘද වස්තුවේ ධමනි අවහිරතාව තවම තිබෙනවා. නමුත් වෙනත් මාර්ගයකින් රුධිර සංසරණය සිදුවෙනවා” යැයි පැවසුවා.

එහිදී මහෙස්ත්‍රාත්වරයා යළි “ඇප ලැබුණාට පස්සේද? “ යැයි විමසුවා.

“නැහැ ස්වාමිනි. පෙර ඉඳලාම ධමනි අවහිරවීම තිබුණා. හැබැයි වෙනත් පැත්තකින් ලේ ගමන් කරන බව දැනගත්තා” යැයි ජනාධිපති නීතිඥවරයා පිළිතුරු දුන්නා.

පෙරළා යළිත් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ඒ පිළිබඳ දැනගන්න පරීක්ෂණය සිදුකළේ කවදාද යන්නයි.

ඊට ජනාධිපති නීතිඥවරයා ” 2017 වර්ෂයේ ස්වාමිනි ” යැයි පිළිතුරු දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙසේ පැවසුවා.

“සැකකරුගේ ඇප සම්බන්ධයෙන් නියෝගයක් පූර්වගාමි විනිසුරුවරිය දීලා තියෙනවා. එම නියෝගය දී තිබෙන්නේ ඉදිරිපත් වූ ලේඛන ප්‍රමාණවත් යැයි සෑහීමට පත්වෙලා. 

එමනිසා මෙම අධිකරණය තවදුරටත් සැකකරුගේ ඇප සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පැමිණිල්ල එදින ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවල නිරවද්‍යභාවය ප්‍රශ්න කරනවානම් එම වාර්තා ලබාදීමේ පදනම ගැන පමණක් අදාළ වෛද්‍යවරුන්ගෙන් මතය විමසන්න අධිකරණ සූදානම් “

මෙහිදී මෙම නීති කෘත්‍යයේ ඉදිරි විමර්ශන සම්බන්ධයෙන්ද මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළා.

“මේ නඩුවේ කිහිප තැනකම එවකට ජනාධිපති ලේකම්වරයාගේ නම සඳහන් වෙනවා. නමුත් ඔහු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් නොකිරීම අධිකරණයට ගැටලුසහගතයි. 

ඊළඟට මේ නඩුවේ පදනම තියෙන්නේ සැකකරුගේ ප්‍රශ්නගත සංචාරය සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් නිල ආරාධනයක් තිබුණාද, නැද්ද කියන එක මත. ඒ මතයි මේ නඩුව තීරණය වෙන්නේ. මේ විමර්ශනය දීර්ඝ සංකීර්ණ විමර්ශනයක් නොවෙයි. 

එබැවින් මීළඟ නඩු දිනය වෙද්දි විමර්ශන අවසන් කරලා අධිකරණයට ප්‍රගතිය වාර්තා කරන්න කියලා මා නියෝග කරනවා. “

ඒ අනුව විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව ලබන වසරේ ජනවාරි 28 වනදා යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා දින නියම කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: