hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 12, ප.ව. 12:08



අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබෙනවා.

කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වනවා.

34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබෙනවා.

යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර තිබෙනවා.

එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙමුම් තිව්‍ර කර තිබෙනවා.

එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබුණා.

සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වනවා.

අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබෙනවා.

එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණයට ලක්කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.

අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනයි.

සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇති බව වාර්තා වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: