hit counter

2025 ජනවාරි මස 26 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 14, පෙ.ව. 10:34



අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව තරයේ අවවාද කොට වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය අද (13) තීන්දු කළා.

මින්මතුවට සෑම නඩු දිනයකම පුද්ගලිකවම අධිකරණයේ පෙනී සිටිය යුතු බවටත් විනිසුරු මඩුල්ල විසින් විත්තිකාර සනත් නිශාන්තට තරයේ අවවාද කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිතාසි නිකුත් කර තිබුණා.

අධිකරණය විසින් එසේ සිතාසි නිකුත් කළේ, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය මෙන්ම නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන හා විජිත කුමාර යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර සනත් නිශාන්ත මහතා අධිකරණයේ පෙනී නොසිටියා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට නිසි පරිදි සිතාසි ලැබී නොමැති බව සඳහන් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, උපුල් ජයසූරිය හා සාලිය පීරිස් යන මහත්වරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණය විසින් නිසි පරිදි සිතාසි නිකුත් කර තිබියදී විත්තිකරු අධිකරණය හමුවට නොපැමිණීම බරපතළ වරදක් බවයි.

විත්තිකරුට ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව සඳහන් කරමින් ජනමාධ්‍යවලින් පවා විශාල ප්‍රචාරයක් සිදුකර තිබියදී ඔහු අධිකරණය මඟහැරීම බරපතළ වරදක් බවත් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මෙහිදී සඳහන් කර සිටියා.

ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත වරෙන්තු නිකුත් කළ අතර නඩුව නැවත නොවැම්බර් මස 10 වන දා තෙක් කල් තැබුණා.

පැය කිහිපයකින් අනතුරුව අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබු අතර එහිදී විත්තිකාර සනත් නිශාන්ත මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේ.

විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා තම සේවාදායකයා පෙරවරු 10:30 වන විට අධිකරණයට පැමිණි බව සඳහන් කළා.

විත්තිකරු කෙසේ හෝ අධිකරණය හමුවට පැමිණ සිටින හෙයින් ඔහු වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රොමේෂ් ද සිල්වා සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු ඊට තරයේ විරුද්ධ වුණා.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු එකිනෙකට පරස්පර බව පෙන්වා දුන්නා.

මුලින්ම තමන්ට සිතාසි නොලැබුණු බව පැවසූ විත්තිකරු පසුව අධිකරණයට හමුවට පැමිණ ඇති බවත් මෙය පරස්පර තත්ත්වයක් බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

විත්තිකරු අධිකරණය මඟහැර සැඟව සිටින අයෙකු බැවින් ඔහු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවත් පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  සාලිය පීරිස් මහතා ද කියාසිටියේ, විත්තිකරුට ඇප ලබා නොදෙන ලෙසයි.

ඉන් අනතුරුව විත්තිකාර සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඇමතු අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා,

“තමන්ට එල්ල වෙලා තිබෙන්නේ ඉතාම බරපතළ චෝදනාවක්. මෙම පෙත්සම්වලින් එකක් ඉදිරිපත් කර තිබෙන්නේ ලංකාවේ සියලුම මහෙස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරු නියෝජනය කරන සංගමය විසින්. ඔබ වෙත එල්ල වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව. අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබියදී අධිකරණයට නොපැමිණීම බරපතළ වරදක්. මීට පෙර අධිකරණයට අපහාස කළ අයට සිදුවු දේ ගැන තමුන් දැනුවත් ඇති. තමන් සෑම නඩු දිනයකම පුද්ගලිකවම අධිකරණයේ පෙනී සිටිය යුතුයි. අද දින පෙරවරු 10.30ට අධිකරණයට පැමිණි බව සඳහන් කරන කාරණය පමණක් සැලකිල්ලට ගෙන අදට තමුන්ට සමාවදෙනවා. මහජන නියෝජිතයෙක් වගේම මන්ත්‍රීවරයකු වශයෙන් තමුන් මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.” යනුවෙන් තරයේ අවවාද කර වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළා.

අනතුරුව අදාළ පෙත්සම් නොවැම්බර් මස 10 වනදා යළි කැඳවීමට නියම කෙරුණු අතර එදින විත්තිකාර සනත් නිශාන්තට අධිකරණය හමුවේ පෙරවරු 10.00ට පෙනී සිටිය යුතු බවටත් නියෝග කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: