hit counter

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි 25, පෙ.ව. 12:06



සංවිධානාත්මක අපරාධකල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස සැලකෙන නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පළාගොස් නැති බවට පොලිසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සැකකාරිය සිටි බවට සැක කෙරෙන මතුගම ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළේ, ඇය අත්අඩංගුවට ගැනීම සඳහායි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ සිටියදී නීතිඥවරයෙකු ලෙස වෙස් වළාගත් පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 19 වැනිදායි.

වෙඩි තැබීම කළ කමාන්ඩෝ සමිඳු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කරන ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති අතර මෙම ඝාතනය මෙහෙයවූ මහ මොළකරු ලෙස සැළකෙන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාර කාන්තාව පිළිබඳව ද තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් ඇය තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සැකකාර කාන්තාව සැඟව සිටි බවට සැක කෙරෙන දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක් ඊයේ දිනයේ දී විශේෂ කාර්ය බළකායේ සෝදිසියට ලක්වුණා.

එමෙන්ම ඇය මතුගම ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

පොලිසිය පැවසුවේ, මෙතෙක් කළ විමර්ශනවලට අනුව ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පිටව ගිය බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

ගනේමුල්ලේ සංජීවට බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තෙක් ආරක්ෂාව ලබාදුන් බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

වෙඩික්කරුට පළා යාමට ලබාදුන් KDH වෑන් රථය සන්තකයේ තබාගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයාගේ බැංකු ගිනුම් පරීක්ෂා කිරීමේ දී අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 68කට අධික මුදලක් සංසරණය වී ඇති බව අනාවරණ කරගෙන තිබෙනවා.

එමෙන්ම වෙඩික්කරු සහ විදෙස් රටක සැඟව සිටින කමාන්ඩෝ සලින්ද අතර අධිකරණය තුළදී සිදු වූ වට්ස්ඇප් පණිවුඩ හුවමාරුව සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන් තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

වෙඩික්කරු අධිකරණය තුළදී වට්ස්ඇප් පණිවුඩ හුවමාරු කිරීමේ දී කමාන්ඩෝ සලින්දගේ නම වෙනුවට භාවිත කර ඇත්තේ ප්‍රසිද්ධ නීතිඥවරයෙකුගේ නමක් බව ද අනාවරණ වී තිබෙනවා.

මේ අතර, ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවල නවතම ප්‍රගතිය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඝාතනය සඳහා ගිනි අවිය වෙඩික්කරුට ලබාදුන් ගම්පහ අස්ගිරිය මල්වත්ත පාරේ පදිංචි 22 හැවිරිදි සැකකරු සහ අපරාධකරුවන්ට පළා යෑමට ප්‍රවාහන පහසුකම් ලබාදුන් 25 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයින් දෙදෙනා ද අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: