hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 10, ප.ව. 2:45



මෙරට වැට් බද්ධ ක්‍රියාත්මක වීමත් සමඟ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි අපහසුතා රැසකට මුහුණ පෑමට සිදුවී තිබෙනවා.

මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නොතකා විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙමින් සිටිනවා.

සංචාරක මඟ පෙන්වන්නන් සඳහන් කළේ මෙතෙක් කලක් විදේශීය සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ඩොලර් වලින් ගෙවා ලබා ගැනීමට හැකි වූ බවයි.

එහෙත් වැට් ක්‍රියාත්මක වීමත් සමඟ ඩොලර් ගැනීම නවතා රුපියල් වලින් පමණක් අයකිරීම නිසා සංචාරකයන් අපහසුතාවයට පත්ව තිබෙන බවයි.

පසුගිය කාලයේ විදේශික එක සංචාරකයකුට සීගිරි නැරඹීම සඳහා ඩොලර් 30ක මුදලක් අය කරනු ලැබූ අතර රජය වැට් ක්‍රියාත්මක කිරීමත් සමඟ එම මුදල ඩොලර් 35.5 දක්වා වැඩි කොට නැවතත් එය ඩොලර් 36 දක්වා වැඩි කර ඇතැයි සංචාරකයෝ පෙන්වා දෙනවා.

වෙනත් දිනවල සංචාරකයන්ට ඩොලර් වලින් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ලැබුණද ඉතිරි මුදල් ඩොලර් වලින් ලබා දීමට නොහැකි වීම නිසා මේ දිනවල විදේශිකයන්ට රුපියල් වලින් හා බැංකු කාඩ් පත් මගින්  ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට සිදුවීම බරපතළ ප්‍රශ්නයක් බව සංචාරක මග පෙන්වන්නෝ පවසනවා.

විශාල සංචාරකයන් පිරිසක් මේ වන විට සීගිරිය නැරඹීම සඳහා පැමිණියද එක් විදේශික සංචාරකයකුගෙන් සීගිරිය නැරඹීම සඳහා ලංකා මුදලින් රුපියල් 11,772 ක මුදලක් මේ දිනවල අය කිරීම සිදු කරන බව ද මේ හේතුව නිසා බොහෝ විදේශීය සංචාරකයෝ සීගිරි නැරඹීමකින් තොරව සීගිරිය අවට දර්ශන නරඹා පිටව යන බව ද ඔවුහු පෙන්වා දෙනවා.

අධික වර්ෂාපතනයක් පැවතියද එම වර්ෂා මධ්‍යයේ විදේශීය සංචාරකයන් සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන නමුත් ඔවුන්ට පහසුකම් නොමැති බවද පෙන්වා දෙන අතර විදේශීය සංචාරකයන්ට ඩොලර් වලින් ‍ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට ඇති හැකියාව සපුරා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම දේශීය සංචාරකයන් සඳහා එක් ප්‍රවේශ පත්‍රයකට රුපියල් සියයක් අය කළද මෙම වැට් ක්‍රියාත්මක වීමත් සමඟ එම ප්‍රවේශපත්‍රයද රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා.

විදේශිකයන්ට සහ දේශීය සංචාරකයන්ට  නිකුත් කරන ලද ‍ප්‍රවේශපත්‍රයේ වැට් සඳහා මුදල් අය කරන බව කිසිදු සටහනක් නොමැතිව ලබාගත් මුදල පමණක් සටහන් වී ඇතැයි දෙස් විදෙස් සංචාරකයෝ පවසනවා.

කෙසේ වෙතත් සීගිරියේ නැරඹීම සඳහා එන සංචාරකයන් මුහුණ දෙන මෙම බරපතළ ප්‍රශ්නය හේතුවෙන් සංචාරක මඟ පෙන්වන්නන් මෙන්ම විදේශීය සංචාරකයන් ද අපහසුතාවයට පත්ව ඇති බව සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ සභාපති සමන් මොරේමඩ මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම  සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු කේ.ජී.කේ.කරුණාරත්න මහතාගෙන් ඒෂියන් මිරර් අප කළ විමසීමේදී කියා සිටියේ වැට් ක්‍රියාත්මක වීමත් සමඟ යම් අර්බුදයකට මුහුණ පා තිබෙන බවයි.

ඩොලර් වලින් ගෙවීමේදී ඉතුරු ඩොලර් ලබාදීම සඳහා ප්‍රශ්නයක් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා බැංකු සමග සාකච්ඡා කොට කඩිනමින් එම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා උත්සාහ දරමින් සිටින බව සඳහන් කළා.

කෙසේවෙතත් වැට් අය කිරීමේදී එම බිල්පත් වැට් අය කළ බව සඳහන් කරන නොකිරීම පිළිබඳව විමසීමේදී කියා සිටියේ සිද්ධිය නිවැරදි කිරීමට කඩිනමින් උත්සාහ කරමින් සිටින බවයි.