hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි 12, පෙ.ව. 12:15



සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ දැනට පවතින රෙගුලාසි සංශෝධනය කර නව රෙගුලාසි හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019-08-02 දිනැතිව ප්‍රකාශයට පත් කර ඇත.

එම රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම් කාඩ්පත් සඳහා පමණක් අදාළ වේ.

එබැවින්, 2019-08-02 දිනට පෙර ලියාපදිංචි වූ ඇතැම් ග්‍රාහකයින් පිළිබඳ තොරතුරු දුරකථන ක්‍රියාකරු සමාගම් සතුව නොමැති අතර ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතු වලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත.

වයස අවුරුදු 16 ‑ 17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධිවිධාන ද ඇතුළත් කරමින් දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත් වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සලසමින් සහ දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල ‑ SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ පවතින රෙගුලාසි ඉදිරියේදී සංශෝධනය වනු ඇත.