hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 10:15



මහියංගණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා පැමිණ සිටි සීතා ඇතින්නට ඊයේ (30) අලුයම රබර් උණ්ඩ අධාරයෙන් වෙඩිතැබීමේ සිදුවීම පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නියෝග කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දෙන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අදාළ පෙරහැර මංගල්‍ය සඳහා විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් සහභාගි වන බැවින්, ප්‍රදේශයේ වල්අලින් බහුල වශයෙන් සැරිසැරීම හේතුවෙන් වල්අලි පලවා හැරීමේ කණ්ඩායමක් විහාරස්ථානයේ ස්ථාපිත කරන ලෙස මහියංගණ විහාරාධිපතිහිමියන් විසින් වනජිවි දෙපාර්තමේන්තුවන් ඉල්ලීමක් කර තිබූ බවයි.

එම ඉල්ලීමට අනුව, වනජීවි නිලධාරින් සමග වල්අලි පලවා හැරිම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්‍ෂක භටයකු ද සහභාගි වී ඇති අතර අදාළ සිවිල් ආරක්ෂක නිලධාරියා විසිනුයි මෙම වෙඩි තැබීම කර තිබුණේ.

ඊයේ (30) අලුයම 3.15ට පමණ මහවැලි ගඟ අසබඩ ගාල්කර සිටි සීතා නැමැති ඇතින්නට වල්අලියෙකු යැයි සිතා රබර් උණ්ඩ වෙඩිතැබීමක් සිදුව තිබූ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර විනය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම මේ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ පාර්ශවයන් වෙත නියෝග කර ඇති අතර, අදාළ රාජකාරියට සම්බන්ධ වී ඇති සිවිල් ආරක්‍ෂකභටයා විසින් රාජකාරි ඉටුකිරීමේදී විනය විරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්නම්, අදාළ භටයාට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව ද ඊයේ (30) නිවේදනයක් නිකුත් කරමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.