hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 29, පෙ.ව. 11:21



ළදරු සබන් ඇතුළු සබන් වර්ග සදහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) ලබා ගැනීම අනිවාර්ය කර නොතිබීම නිසා, ළදරු සිරුරට අහිතකර වන අයුරින් TFM අගය අඩු ළදරු සබන් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක ඇතැම් සමාගම් නිරතව සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්දේශ අනුව මෙරට වෙළෙදපොළේ අලෙවි කිරීමට තිබෙන ළදරුවන් සදහා තිබෙන සබන්වල TFM අගය 78 ක් වියයුතු වනවා.

නමුත්, මෙරට ප්‍රධාන පෙලේ සබන් නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ළදරු සබන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ එහි TFM අගය 63 ක් වන බවයි.

එම අධිකාරිය සදහන් කරන්නේ, මෙය ළදරුවන්ගේ සිරුරට සෞඛ්‍යමය ලෙස හානිදායක තත්වයක් බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි. සමාගම විසින් නිෂ්පාදනය කරන ළදරු සබන් ඇසුරුමෙහි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ SLS සහතිකය මුද්‍රණය කරතිබූ බවත්, ඇසුරුමෙහි TFM අගය ලෙස 78 වංචනිකව සදහන්කර තිබූ බවයි.

මෙම සමාගමට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් ජූලි මස 06 වැනිදා මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොණු කිරීමට කටයුතු කළා..

එහිදී සමාගම වරද පිළිගෙන ඇතැයිද අනාවරණය වන අතර, එම සමාගම නිෂ්පාදනය කර බෙදාහරින ළදරු සබන් මිලදී ගෙන භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙසට එම අධිකාරිය විසින් පසුගියදා මාධ්‍ය හරහා මහජනතාවට දැනුම් දීමටද කටයුතු කළා..

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් SLS සහතිකය ලබා ගත් සබන් වර්ගවල ලැයිස්තුවක් ලබාගෙන එම සබන්වල නියමිත ප්‍රමිතිය සහිතව TFM අගය ඇත්දැයි පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැලසුම් කර ඇති අතර, විවිධ වර්ගයේ සබන් කාණ්ඩ හතක් පමණ තිබෙන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ, නිවාස සහ කුඩා පරිමාණයේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන විවිධ වර්ගයේ සබන් වර්ග පිටකොටුව තොග හා සිල්ලර වෙළෙද පොලේ අලෙවි කිරීමට තිබෙන අතර,එම සබන්වල TFM අගය සම්බන්ධව බරපතල ගැටලු තත්ත්වයන් පැවැතිය හැකි බවයි.

සබන් සදහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය කර නොතිබීම නිසා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට සබන් වැටලීම් සිදුකිරීම ගැටලුකාරී තත්වයක් වූවත්, ඇසුරුම්වල ප්‍රමිති සහතිකය සඳහන් කරන ලද සබන් පරීක්ෂා කිරීමේ හැකියාව පවතින බවයි එම අධිකාරිය කියා සිටින්නේ.

මේ නිසා අධිකාරිය වැඩි දුරටත් සඳහන් කන්නේ, ඇසුරුමෙහි SLS ප්‍රමිති සහතිකය සඳහන් කරන ලද සබන් වරින්වර පරීක්ෂා කිරීමට කටයුතු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: