hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2025 අප්‍රේල් 12, පෙ.ව. 12:23



අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ (පසුගිය අප්‍රේල් 10 වැනිදා සිට දින 12ක්) සූර්ය බල නිෂ්පාදකයන් විසින් ජනනය කරනු ලබන විදුලිය ජාතික විදුලිය පද්ධතියට ලබා ගැනීම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත. මේ හේතුවෙන් කිලෝ වොට් 100කට වැඩි සූර්ය බල විදුලි පද්ධති හිමියන්ට පාඩු වන මුදල වන්දියක් ලෙස ලබා දෙන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුව අප්‍රේල් මස 10 වැනිදා සිට අප්‍රේල් මස 21 වැනිදා දක්වා කාලය තුළ කිලෝ වොට් 100ට වැඩි සූර්ය විදුලි ජනන පද්ධති මඟින් විදුලිය ලබා නොගන්නා අතර මේ වනවිටත් එම පද්ධති විසන්ධි කර ඇත. මේ තත්ත්වය මත එම සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ එයින් කර්මාන්තයට සිදු වන පාඩුව සලකා වන්දියක් ලබා දීමට පියවර ගන්නා ලෙසයි. එම සංගමයේ ප්‍රකාශකයකුට අනුව මෙවැනි සූර්ය බල උත්පාදකයකුට හිමි වන ආදායමින් සියයට 35ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලය ගෙන තිබෙන තීරණය හේතුවෙන් අහිමි වන බවත් එය රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් බවත් සඳහන් කර ඇත.

ආයෝජකයන් සූර්ය පැනල විදුලි නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 200කට අධික මුදලක් ආයෝජනය කර ඇති බැවින් මෙලෙස වන්දියක් ලබා දෙන ලෙසට සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලීම් කර තිබේ.

මෙම තීරණය හේතුවෙන් සූර්ය පැනල ආයෝජකයන්ට විශාල පාඩුවක් සිදු වන බව ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අද වන විට සූර්ය පැනල කට්ටල මඟින් මෙගා වොට් 1500කට එහා ප්‍රමාණයක් ජාලගත කර ඇතැයි පැවැසූ ඒ මහතා දැනට ජාලගත කර තිබෙන පරිමාවෙන් විසන්ධි කිරීමට ලක්වන්නේ 25%ක් යැයි අනුමාන කළහොත් මෙම පාඩුව සිදුවන බවද හෙතෙම පැවැසීය.

දීර්ඝ නිවාඩුවක් හේතුවෙන් විදුලිබල මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවත් රජයේ නිවාඩුවක් යෙදෙන හැමවිටම මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් සූර්ය බලශක්ති නිෂ්පාදනයට ආයෝජනය නොකරනු ඇතිබවත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: