hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 01, ප.ව. 12:08



දකුණු පළාත් සභාවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව ගවේෂණාත්මකව සොයා බැලීමේදී ඉතා බරපතළ ආකාරයේ දූෂණ ,වංචා අක්‍රමිකතා සිදුවී ඇතිබව හෙලිදරව් කර ගැනීමට හැකිවී තිබෙනවා.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා රාජ්‍ය චක්‍රලේඛ මුලුමනින්ම උල්ලංඝනය කරමින් දේශපාලකයන් සහ නිළධාරීන් තමන්ට හිතූ මනාපයට කටයුතු කරමින් අනවශ්‍ය ලෙස ඉදිකිරීම් කටයුතු සිදුකරමින් රටේ මහජන මුදල් කාබාසිනියා කරමින් සූක්ෂම ලෙස ඔවුන්ගේ මඩිය තර කර ගැනීමට කටයුතු කර ඇති ආකාරය ඉතා කණගාටුදායකයි.

2019 වසරේ වනවිට දකුණු පළාත් සභාව නොයෙක් ව්‍යාපෘති පෙන්වා දෙමින් ගොඩනැගිලි හා නොයෙක් ඉදිකිරීම් සිදු කරමින් මහජන මුදල් ගසා කෑ ආකාරය පිළිබඳව රටේ පොදු මහජනතාව දැනුවත් කිරීම සියලු මාධ්‍ය වල වගකීමක්.

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් 2018 වර්ෂයේ වෙන්කරන ලද ප්‍රතිපාදනයන්ට අදාලව ව්‍යාපෘති විෂයන් ක්‍රියාත්මක කිරීමට විධිමත් නිර්නායකයන් සහ මාර්ගෝපදේශයකයන් සකස්කර නොතිබුනු අතර අවම වශයෙන් අංක 2016 / 01(1) දරන මුදල් කොමිෂන් සභා චක්‍රලේඛයේ විධිවිධානයන්ට අනුකූල නොවී රුපියල් 87,238,285ක් වූ වැඩ යෝජනා 31 ක් ක්‍රියාත්මක කර තිබුණා.

තවත් වැඩ යෝජනා 11ක් සඳහා රුපියල් 42,400,000 ක් වූ ප්‍රතිපාදන හා වෙන්කළ මුදල් 2018 දෙසැම්බර් 31 වන දින නිදහස් කර තිබූ නමුත් ඊට අදාළ ව්‍යාපෘති යෝජනා සඳහා 2019 ජූලි 31 වනවිටත් ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලැබී නොතිබියදී අධිකාරිය විසින් රුපියල් 15,403,835 ක් වූ වියදම් දරා තිබුණි.

වැඩියෙන් ගෙවලා

මේ අතර ඇස්තමේන්තු වටිනාකම රුපියල් 3,746,000 ක් වූ හල්පාතොට නිවර්තන නිවාසයේ ගල් බැම්ම සහ තාප්පය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සුදුසුකම් පරීක්ෂාවකින් තොරව අදාළ මූල්‍ය සීමාව ඉක්මවා ග්‍රාම සංවර්ධන සමිතියකට පිරිනමා තිබුණු අතර ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් 987,568 ක් වැඩිපුර ගෙවා තිබුණා.

මහමෝදර රුහුණු රන්සළු ආයතනයට නව සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් 8,398,478 ක වටිනාකමට කොන්ත්‍රාත් ආයතනයක් සමඟ 2018 නොවැම්බර් 05 වන දින සිට 2018 දෙසැම්බර් 31 දින දක්වා කාලයකට ගිවිසුම් ගතවී 2019 වර්ෂයේ රු 7,209,100 ක් ගෙවා තිබුණා.

එම මුදල තුල සැලසුම් වෙනස් වීම නොසලකා හැරීම නිසා රුපියල් 259,974ක් හා වැඩ විෂයන් දෙකක් සඳහා රුපියල් 593,244 ක් වශයෙන් රුපියල් 853,218 ක් වැඩිපුර ගෙවා තිබූ බව වාර්තා වනවා. 

බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් නිමකර අවුරුද්දකට අඩු කාලයක් තුළ ගොඩනැගිල්ල සඳහා භාවිතා කර තිබූ ඇලුමිනියම් පව්ඩර් කෝටඩ් (Aluminium Powder Coated) ජනෙල් පියන්වල හා බාර්වල පවුඩර් කෝටින් (Coating) ගැලවී ගොස් ඇති අතර ඒ සඳහා රුපියල් 7,010,091 ක් ගෙවා තිබුණේ නිසි ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සඳහායි.

ඇස්තමේන්තු නෑ

පොල්වත්ත ආයුර්වේද රෝහලේ සිව්මහල් වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සම්බන්ධයෙන් ද බරපතළ අක්‍රමිකතා වාර්තා වනවා.

සැලසුම් හා මුලු පිරිවැය ඇස්තමේන්තුවක් සකස් නොකර රුපියල් මිලියන 10ට අඩු ඉංජිනේරු ඇස්තමේන්තු මගින් අදියර 5 ක් ඉදිකිරීම් සංවර්ධන ආයතනයේ -CT ලියාපදිංචි කොන්ත්‍රාත්තුවකුට ලංසු කැදවීමකින් තොරව පැවරීම නිසා C 1,2 හෝ 3 වැනි සුදුසුකම් සහිත කොන්ත්‍රාත්කරුවකු ලවා වඩා වාසිදායක සහ කාර්යක්ෂමතාවයකින් යුක්තව ඉටුකර ගැනීමට නොහැකි වී තිබෙනවා.

තවද මෙම ව්‍යාපෘතිය අසාමාන්‍ය ලෙස ප්‍රමාද වුවද ප්‍රමාද ගාස්තු වෙනුවෙන් රු 1,566,633ක ප්‍රමාද ගාස්තු අය කර නොතිබුණි. සියයට 30 ක අත්තිකාරම් මුදල පලමු අදියර 4 දී ක්‍රමිකව අය නොකර රුපියල් 6,083,029 ක් දීර්ඝ කාලයක් තුල කොන්ත්‍රාත්කරු ළඟ රදවා තැබීම මගින් කොන්ත්‍රාත්කරුට වාසිදායක ලෙස කටයුතු කර තිබුණු අතර කොන්ත්‍රාත්කරු ඉදිරිපත් කර තිබූ ප්‍රමාණ පත්‍ර මකණ දියර භාවිතයෙන් වෙනස් කර අනු පිටපතද විවෘත කර වංචනිකව කටයුතු කර තිබෙනවා.

තාක්ෂණික ඇගයීම් කමිටුව හා ප්‍රසම්පාදන මණ්ඩලය ඊට අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව කටයුතු කර නොතිබූ බව වාර්තා වනවා. 

නිලධාරීන් තොරතුරු වසන් කරයි

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් හුංගම ගොවිපළ භූමියේ භෞතික ප්‍රාග්ධන වත්කම් ගොඩනැගීම හා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් 3,389,406 ක් වැයකර තිබුණා.

මෙහිදී ව්‍යාපෘතියට භාවිතා නොකල ගොඩනැගිලි ද්‍රව්‍ය හා අනෙකුත් භාණ්ඩ සඳහා රුපියල් 1,138,680 ක් සැපයුම්කරු විසින් සපයා නොතිබුණු භාණ්ඩ හා සේවා සඳහා රුපියල් 332,050 ක් හා පුහුණු හා නුපුහුණු ශ්‍රමයට අනුමත වැටුප් ප්‍රමාණයන් ඉක්මවා හා වැඩකළ සත්‍ය දින ගණන් ඉක්මවා රුපියල් 443,750 ක් වශයෙන් එකතුව රුපියල් 1,914,480 ක් අවිධිමත් ලෙස ගෙවා ඇති බවද තොරතුරු හෙළිදරව් වනවා. 

කෙසේ නමුත් මේ සියලු කාරණා හෙලිදරව් වෙමින් පැවතියද දකුණු පළාත් සභාවේ ඇතැම් නිළධාරීන් තොරතුරු වසන් කිරීමට දරන ලැජ්ජා සහගත උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුවන අතර ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමේ හේතුවෙන් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවරයන් ගැනීමටද ජනතාව යොමු විය යුතු කාලය එළඹ තිබෙන බව කිවයුතුය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පණත යටතේ CSS/4/RTI/2022/03/02, CSS/4/RTI/2022/03/03, හා CSS/4/RTI/2022/01/02 යන ලියාපදිංචි අංක යටතේ අයදුම්පත් යොමු කළ ද තොරතුරු නිළධාරියා විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර පසුව නම්කළ නිළධාරියා වෙත අංක CSS/4/RTI/APPEAL/03/02 හා CSS/4/RTI/APPEAL//01/01  දරණ අභියාචනා ,2022/04/07 වන දින ඉදිරිපත් කරන තිබෙනවා. 

හික්කඩුව – බුද්ධික වීරසිංහ  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: