hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 19, පෙ.ව. 1:08



මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පසුගියදා පැවැත්වුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී.

එහිදී මීටර් තුන්දහස බාධක දිවීමේ ඉසව්වට වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ හසිඳු ධනංජය ශිෂ්‍යයා අබලන් පාවහන් යුගලක් සහිතව සහභාගී වන්නේ ධාවනයට කෙතරම් දක්ෂයෙකු වුවත්, ඔහුට පැවති ආර්ථික දුෂ්කරතාවන්හි තරම මොනවට කියාපාමින්.

එහෙත් එම ඉසව්වටම එක් වූ හංවැල්ල කළු අග්ගල, ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ ෂෙහාන් තීක්ෂණ සිය ප්‍රතිවාදියාට තමන් භාවිත කරන නවීන පන්නයේ පාවහන් යුගල ලබා දෙන්නට තරම් පරිත්‍යාගශීලී වනවා.

හසිඳු එම ඉසව්වේදී රන් පදක්කම දිනාගත් අතර ඔහුට පාවහන් යුගල පරිත්‍යාග කර වෙනත් පාවහන් යුගලක් පැළඳ තරඟ වදින ෂෙහාන්ට හිමිවන්නේ හත්වෙනි ස්ථානයයි.

ෂෙහාන් මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“ඇත්තටම මට ගොඩක් සතුටුයි දැන්. මොකද මං කරපු පොඩි උදව්වෙන් මේ අනිත් ක්‍රීඩකයාට ඒ තරඟයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි වේවි.”

ඉසව්ව ජයගත් ක්‍රීඩකයා මෙසේ අදහස් දක්වා සිටියා,

“ඔය වගේ උදව්වක් කිසිම කෙනෙක් කරන්නෑ තමන්ගේ ඉවෙන්ට් එකේ දුවන කෙනෙක්ට. ඒගොල්ලන්ට තරගයේ ඉස්සරහට එන්න තියෙන අවස්ථාවක්නේ නැති වෙන්නේ. ඉතින් එයා ඒ කරපු උදව්ව මට එවෙලේ හිතාගන්නත් බැරිවුණා. මට ඒ වගේම ලොකු දුකක් දැනුණා. ශෙහාන්ට පළවෙනි ස්ථාන තුන අතරට එන්න බැරි වෙච්ච එක ගැන. ඒ වුණත් දැන් මං හිතන්නේ එයා තමා තරඟය දිනලා ඉවර.”

විශේෂත්වය වන්නේ මෙම පරිත්‍යාගය කළ ෂෙහාන් ද ආර්ථික අපහසුතා රැසක් මැද සිය ක්‍රීඩා දිවිය පවත්වාගෙන යන ක්‍රීඩකයෙකු වීමයි.

ෂෙහාන්ගේ පියා මෙසේ අදහස් දක්වා සිටියා,

“මගේ පුතාටවත් දුවන්න සපත්තු දෙකක් තිබුන් නැහැ. ඒකත් මේ ඉස්කෝලෙන් තමා මෙයාට දුන්නේ. මම කියලා තියෙනවා මගේ පුතාට හැමවෙලේම තියෙන දෙයක් ඕන කෙනෙකුට බෙදාගෙන තමා කරන්නේ කියන එක. ඒක හරියටම මගේ පුතා කරලා තියෙනවා. ඉතින් මම හරියටම සන්තෝස වෙනවා. මගේ පුතා ජයග්‍රහණය ලැබුවා හා සමානයි. මට ඉතින් ඒ දරුවත් ඒ ඒ තැනදි කරපු ජයග්‍රහණය ගැන.”

ෂෙහාන් කළ මෙම උතුම් ක්‍රියාව අගයමින් ඔහුට සිය පාසලේදී උපහාර පිදීමක්ද සිදු කෙරුණා.