hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 11:19



2023-2024 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය අද (26) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසුවා.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ ඊයේ (25) දින වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රි පාද පද්මය සුවද පැණින් දෝවනය කර ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව අද (26) දින උදෑසන යෙදුණු සුභ නැකතට වැඩම්ම වු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබුවා.

2023-2024 ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට කිසිදු හිරිහැරයක් නොවන සේ කටයුතු කරමින් ශ්‍රි පාද පුද බිමට පිවිසෙන මාර්ගය දෙපස පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය මුදා නොහැර ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස සලකා ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ.

මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට ඊයේ (25) දින වැඩම්මවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රණ්සිලිගේ රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්ප උපහාර දැක්විම සදහා විශාල බැතිමතුන් පිරිසක් මාර්ගය දෙපස රැදි සිටිම හේතුවෙන් හැටන් මාර්ගය ඔස්සේ ගමන් ගත් පෙරහැර ශ්‍රි පාද මළුව දක්වා වැඩම කිරිම අද (26) අලුයම දක්වා ප්‍රමාද වුණා.

බලංගොඩ බගවන්තලාව මාර්ගයේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට සහ ප්‍රදේශවාසින්ට බගවන්තලාව ප්‍රදේශයේ සිංහල , දමිල , මුස්ලිම් ප්‍රජාව එක්ව ඊයේ (25) දින දන්සැලක්ද පැවැත්විණ.