hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 29, ප.ව. 8:48



සති දෙකකට වැඩි කාලයක් තිස්සේ යුද ගැටුම් ඇවිළෙන සුඩානයෙන් මුදා ගත් පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (29) මෙරටට පැමිණීමට නියමිතයි.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සුඩානයේ සිට සෞදි අරාබියේ ජෙඩා නුවරට රැගෙන ඒමට මුදා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබෙනවා.

සුඩානයේ රාජ්‍ය ආරක්ෂක අංශ සහ කැරලි කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී මේ වන විට දින 15 ක් ගත වී අවසන්.

ගැටුම් හේතුවෙන් කාර්ටෝම් අගනුවර ඇතුලු ප්‍රධාන නගර රැසක දෛනික කටයුතු මුලුමනින්ම අඩාල වී ඇති අතර ගැටුම් වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 520 ඉක්මවා තිබෙනවා.

4000 ට අධික පිරිසක් ද තුවාල ලබා ඇතතේ එරට රෝහල් පද්ධතියද යුද ගැටුම් හේතුවෙන් අක්‍රමණ්‍ය වී ඇති පසුබිමකයි.

මේ අතර සෞදි රජයේ සහාය ඇතිව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සුඩානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කරනු ලබනවා.

ඒ අනුව පොර්ට් සුඩාන් හි රැදී සිටින දෙවන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම සෞදි රජයට අයත් HMS MAKKAH නෞකාවෙන් ජෙඩා නුවර කින්ග්ස් ෆයිසාල් නාවුක කදවුරට රැගෙන එනු ලැබුවා .

මේ අතර සුඩානයේ යුධ ගැටුම් හමුවේ විදේශිකයින් මුදා ගැනීමේ මෙහෙයුම් ද අඛණ්ඩව සිදු කෙරෙන අතර ඒ අනුව කාර්ටෝම් නුවර රැදී සිටින තුර්කි ජාතිකයින් මුදා ගැනීමට පැමිණි තුර්කි ගුවන් හමුදාවට අයත් යානයකට එරට සන්නද්ධ කණ්ඩායමක් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරවලින් යානයට සුළු හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.